ශ්‍රී ලංකා මැණික් කර්මාන්තය: ආරනූල් පොකුර ගැන බොරු ප්‍රචාර සමාජ ගතවන බව හිමිකරු කියයි

ඡායාරූප මූලාශ්‍රය, Mr Gamage

ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝග්‍රෑම් 510 ක් බරැති ආරනූල් පොකුර

රත්නපුරෙන් හමු වූ ආරනූල් පොකුර සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් (Fake news) සහ වැරදි වැටහීම් සමාජ ගත වී ඇති බව එහි හිමිකරු පවසයි.

නිවිතිගල විදුහලේ ප්‍රදර්ශනයට තබා ඇති අදාළ මැණික් පොකුර බැලීමට මහා ජනගංගාවක් පැමිණෙමින් සිටින බවට ෆේස්බුක් ඔස්සේ පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔහු BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

"නිල් මැණික් කර්මාන්තයට අදාළ මේ සොයා ගැනීමට අවමන් කිරීමට අවශ්‍ය යම් පාර්ශවයක් සිතාමතාම ජනතාව නොමග යැවීමට මෙවැනි දේ කරනවා," යනුවෙන් එහි හිමිකරු ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉහත ඡායාරූපය සහිත පෝස්ට් ගණනාවක් ෆේස්බුක් හි පළව ඇති අයුරු දැකිය හැක

ආරනූල් (Star sapphire) විශේෂයට අයත් ඉහත කී මැණික් පොකුර පිළිබඳ මේ දිනවල විශාල වශයෙන් අදහස් පළ වේ.

කිලෝග්‍රෑම් 510 ක් බරැති මැණික් පොකුර ලොව මෙතෙක් හමුව ඇති විශාලතම ආරනූල් පොකුර යයි විශ්වාස කෙරේ.

එහි වටිනාකම ඩොලර් මිලියන 200 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.

ඉන් අනතුරුව එහි සැබෑ මූල්‍ය වටිනාකම සම්බන්ධයෙන් පරස්පර අදහස් ඉදිරිපත් විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් මැණික් ව්‍යාපාරිකයන් සහ රත්න විශේෂඥයන් පවසා තිබුණේ එහි මූල්‍ය වටිනාකම ඊට වඩා බෙහෙවින් අඩු අගයක් ගන්නා බවය.

ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ බදාදා (ජුලි 28) මාධ්‍ය වෙත පවසා තිබුණේ මූල්‍ය වටිනාකමට වඩා එහි ඇත්තේ කෞතුක වටිනාකමක් බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ ජාල ඔස්සේ පල වූ අදහසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ ජාල ඔස්සේ පල වූ අදහසක්

මේ අතර සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් තවත් පිරිසක් චෝදනා කර තිබුණේ "මැණික් පොකුර" සැබෑ ප්‍රශ්න යට ගැසීමට ගෙන ආ ආණ්ඩුවේ ප්‍රචාරණ උපායක් බවය.

ශ්‍රී ලංකාව නිල් මැණික් සහ වෙනත් වටිනා මැණික් අපනයනයේ ප්‍රමුඛයෙකි.

ඡායාරූප මූලාශ්‍රය, Mr Gamage

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරනූල් විශේෂයේ ඔප දැමූ මැණිකක්

රත්නපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වූ මැණික් ලොව ප්‍රසිද්ධ කෞතුකාගාර මෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුල සහ ලොව ධනවත් පුද්ගලයන්ගේ මැණික් හා ස්වර්ණාභරණ එකතුවන්ට එක්ව තිබේ.

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මගින් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව උපයා ගෙන ඇති අදායම ඩොලර් මිලියන 500 ඉක්මවයි.