ටෝකියෝ ඔලිම්පික් 2020: අතිශය ජනප්‍රිය වූ 'ශ්‍රී ලාංකික සමුරායි' කවුද?

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, යම් අයහපත් ප්‍රතිචාර නිසා ස්පාඤ්ඤ චරිතය දෙවෙනි වර වෙනස් කිරීමට සිදු වූ නමුත් ශ්‍රී ලංකා චරිතය අතිශය ජනප්‍රිය විය

ඔලිම්පික් උළලේ තරඟකාරී රටවල ධජ සමුරායි චරිත ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම උළෙල සහ ජපන් සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීම ජපන් කලාකරුවන් කණ්ඩායමක බලාපොරොත්තු වී තිබේ.

ලෝක ධජ (World Flag) ව්‍යාපෘතියට, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, මහා බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව, එල් සැල්වදෝරය සහ තුර්කිය ඇතුළු, විශාල හා කුඩා රටවල් ඇතුළත් වේ.

"සමුරායිවරු ජපානයට සුවිශේෂී වන අතර සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය ගැන සෑම කෙනෙකුම දැන හඳුනා ගැනීම අපට අවශ්‍යයි" යනුවෙන් නිර්මාණකරු කමයා යමමොටෝ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ධජයෙන් නිර්මාණය වූ සමුරායි

ඔහු මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ රටක ධජයේ අර්ථය සහ ඉතිහාසය මෙන්ම වර්ණ හා මෝස්තරය ගැන පර්යේෂණ කිරීමෙන්ය. එම රටවල සංස්කෘතිය පිළිබඳවද පර්යේෂණ සිදු කර තිබේ.

නිදසුනක් වශයෙන්, මෙක්සිකානු ධජයේ රාජාලියෙකු පතොක් ගසක වාඩි වී සර්පයෙකු අනුභව කරන දර්ශණයක් දක්නට හැකිය. කමයා යමමොටෝ මෙම කරුණු එකට මිශ්‍ර කර සර්ප ලාංඡනයක් සහ රාජාලියෙකු සහකරුවෙකු ලෙස සිටින සමුරායිවරයෙකු නිර්මාණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් උළෙල සඳහා තරඟ වදින රටවල් 200 සඳහාම චරිත නිර්මාණය කිරීමට 'World Flag' අදහස් කරයි.

සෑම චරිතයක් සමගම ඔවුන්ගේ පෞරුෂත්වය, ශක්තීන් සහ දුර්වලතා පිළිබඳ කෙටි සටහනක් ද වේ. මේවා වීඩියෝ ක්‍රීඩාවක චරිතයක් වැනිය.

"මෙය මිනිසුන්ට වෙනත් රටවල් ගැන ඉගෙන ගැනීමට මාර්ගයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," ව්‍යාපෘතියේ තවත් කලාකරුවෙකු වන කොසෝ යමදා පවසයි.

"ඔලිම්පික් යනු එයයි."

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙක්සිකෝ සමුරායි

රණශූරයාගේ මාර්ගය

අවම වශයෙන් 12 වන සියවසේ සිට ජපාන ඉතිහාසය තුළ සමුරායි සොල්දාදුවන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

සමුරායිවරු තවදුරටත් නොපවතින නමුත් ගෞරවය හා විනය මත පදනම් වූ රණශූරයාගේ මාර්ගය "බුෂිඩෝ" ලෙස හඳුන්වන අතර එය අදටත් ජපන් සංස්කෘතිය තුළ වැදගත් යැයි සැලකෙන සාරධර්ම පද්ධතියකි.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරගුවේ, කොලොම්බියාව සහ කොස්ටාරිකාව නියෝජනය කරන සමුරායිවරු සිය ධජවල වර්ණවලින් හැඩ වී තිබේ.

මෙම අන්තර්ජාල ව්‍යාපෘතිය ඔස්සේ ටෝකියෝ ඔලිම්පික් උළෙල ප්‍රවර්ධනය කරන්නක් සේ පෙනුනද, ව්‍යාපෘතිය පිටුපස සිටින පුද්ගලයින් 15 දෙනා එයින් කිසිදු මුදලක් උපයා නොගනී. මෙය ඔවුන්ගේ නිදහස් කාලය තුළ සිදුකරන ක්‍රියාකාරකමකි.

ඔවුන් මේ වන විට තරඟකාරී රටවල් 200න් 84ක ධජවලින් සමුරායිවරුන් නිර්මාණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුරායි යනු ජපාන ඉතිහාසයේ විශාල කොටසකි

චරිත නිර්මාණය කිරීමේදී ඔවුන් වඩාත් සහයෝගී ප්‍රවේශයක් ගෙන තිබේ. සමහර අවස්ථාවල ට්විටර්හි ඡන්ද විමසීම් පවත්වමින් යම් රටක වඩාත් සුවිශේෂී සංකේතය හෝ වස්තුව සඳහා ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා තිබිණි.

උදාහරණයක් ලෙස පැරගුවේ ධජය සඳහා ප්‍රතිචාර දැක්වූවන් බොහෝ දෙනෙක් සුප්‍රසිද්ධ 'ඉගුවාසු' දිය ඇල්ල ගැන සඳහන් කළහ. ඒ අනුව අදාළ සමුරායිවරයාගේ පින්තූරය සමග තිබෙන සටහනට ඉගුවාසු ගැන විස්තර ඇතුළත් කර සමුරායිවරුන් එහි පුහුණුවීමට කැමති බව දක්වා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, පින්තූර ඔස්සේ ඔලිම්පික් උළෙල ගැන මිනිසුන් අතර උද්යෝගයක් ඇති කිරීම මෙහි බලාපොරොත්තුව වේ.

කෙසේ වෙතත්, සමහර විට ඔවුන්ට සෘණාත්මක අදහස් ද ලැබුණු අතර, ඒවා ද ප්‍රයෝජනවත් වූ බව ඔවුහු පවසති. නිදසුනක් වශයෙන්, ඔවුන් පළමු වරට ස්පාඤ්ඤ ධජය සිතුවම් කළ විට, එම චරිතය 'බුල් ෆයිටර්' (ගොන් පොර සටන්කරුවෙකු) කෙනෙකු ලෙස පෙනෙන බවට අදහස් පළ විණි.

"සමහර චරිත ජපන් දෘෂ්ටිකෝණය මත පදනම් වී ඇති නිසා ඒවා තරමක් ඒකාකාරී විය හැකි බව මම පිළිගන්නවා," කමයා යමමොටෝ පැවසීය.

"ස්පාඤ්ඤයේ ගොන් පොරබැදීම මතභේදාත්මක බව අපි දැන සිටියේ නැහැ. අපට අන්තර්ජාලය හරහා විවේචන එල්ල වුණා, ඒ නිසා අපි ඒක වෙනස් කළා."

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම චරිතයක් සමගම ඔවුන්ගේ පෞරුෂත්වය, ශක්තීන් සහ දුර්වලතා පිළිබඳ කෙටි සටහනක් ද වේ.

කීර්තිය ජපානයෙන් ඔබ්බට

අනෙකුත් මෝස්තර ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල ඉතා ජනප්‍රිය වී තිබේ.

ශ්‍රී ලංකා ධජයේ වර්ණ රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුන වන සිංහල, දෙමළ සහ මුස්ලිම් නියෝජනය කරයි. ඒ අනුව සමුරායිවරු මෙම වර්ණ පැළඳ සිටිනවා පමණක් නොව, රූපයට ධජයේ කැපී පෙනෙන ලෙස සිංහයෙකු ද ඇතුළත් කර ඇත.

"ශ්‍රී ලාංකිකයින්ගෙන් අපට අන්තර්ජාලය හරහා බොහෝ පණිවිඩ ලැබී තිබෙනවා. ඔවුන්ගේ රට සමුරායිවරයෙකු බවට පත් කිරීම කෙතරම් සතුටු දෙයක් ද කියලා අපට කියා තිබෙනවා," කමයා යමමොටෝ ආඩම්බරයෙන් පැවසීය.

ශ්‍රී ලංකා ධජයෙන් නිර්මාණය වූ සමුරායි සමාජ මාධ්‍ය ජාලවල අතිශය ජනප්‍රිය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

හොන්ඩුරාස් සහ වෙනිසියුලාව වැනි ජපානයේ පිහිටි සමහර රටවල තානාපති කාර්යාල ඔවුන්ගේ ධජයන් සම්බන්ධ සමුරායිවරුන්ගේ පින්තූර ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය බව පවසමින් කලාකරුවන් වෙන වෙනම සම්බන්ධ කර ගෙන තිබේ.

පින්තූර ඔස්සේ ඔලිම්පික් උළෙල ගැන මිනිසුන් අතර උද්යෝගයක් ඇති කිරීම මෙහි බලාපොරොත්තුව වේ. විශේෂයෙන්ම මෙවර කිසිවෙකුටත් සැබවින්ම කිසිම ක්‍රීඩාවක් ක්‍රීඩාගාර වලට පැමිණ නැරඹිය නොහැකි වීම මෙයට හේතු වී තිබේ.

කොවිඩ් පැතිරී යාම හේතුවෙන් ජපානයේ හදිසි තත්වයක් ප්‍රකාශ කර ඇති අතර ඔලිම්පික් ක්‍රීඩාවන්ට සියලු ප්‍රේක්ෂකයින් තහනම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, World Flags

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම චරිතයකම අදාළ රට හා සම්බන්ධ සංකේත සහ වර්ණ ඇතුළත් වේ

"මිනිසුන්ට ඔලිම්පික් උළෙල භුක්ති විඳින්න වෙන්නේ අන්තර්ජාලය හරහා පමණයි" යනුවෙන් කොසෝ යමදා පැවසීය.

"ඒ නිසා අපේ නිර්මාණ කොවිඩ් -19 නිසා වෙහෙසට පත්ව සිටින සියලු දෙනාටම විනෝදාස්වාදය සහ සහනයක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා."

මේ තොරතුරුද කියවන්න: