කොවිඩ් 19 මැද ඩෙංගු අවදානමක්: ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි

An Indian Christian child lies under a mosquito net at a relief camp in Bhubaneswar, on October 19, 2008 set up for families fleeing the communal violence in Kandhamal district. At the root of the unrest in the Kandhmal district of the Indian state of Orrissa are accusations by hardline Hindus that missionaries lure tribespeople and low-caste Hindus to convert to Christianity by offering free education and health care. AFP PHOTO/Deshakalyan CHOWDHURY (Photo credit should read DESHAKALYAN CHOWDHURY/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "කොවිඩ් 19 රෝගීන් නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යන මොහොතක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගියහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක් වනු ඇත"

ශ්‍රී ලංකාව කොවිඩ් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳින අතරේ ඩෙංගු යළි හිස එසවීමේ දැඩි අවදානමක් ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

"මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ වෙලාවේ කොවිඩ් 19 පාලනය සඳහා විශාල කැප කිරීමක් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඩෙංගු ගැන කැප කරන්න තියෙන කාලය අඩුයි. ඊට මුහුණ දෙන්න මේ වෙලාවේ ජනතාවගේ සහය වැඩි වශයෙන් අවශ්‍යයි," යනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ කොවිඩ් 19 රෝගීන් නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යන මොහොතක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගියහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක් වනු ඇති බවය.

"කොවිඩ් 19 නිසා අපි දැනට ව්‍යාකූල තත්වයකට පත්වෙලා ඉන්නවා. මේ රෝග ලක්ෂණ දෙකම අපිට එක හා සමානව දැනෙන්න පුළුවන්. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකුට හැර මේ රෝග දෙක වෙන්කර හඳුනා ගැනීම ගැටලුවක් විය හැකියි. ඒ නිසා අපි යම් අර්බුදකාරී තත්වයකට තල්ලු වෙමින් සිටිනවා," යනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

Presentational grey line
Presentational grey line

2021 ආරම්භයේ සිට මැයි 18 වෙනිදා දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,438කි. ඉන් 545 දෙනෙකු වාර්තා වී ඇත්තේ මැයි මාසයේ ගත වූ දින 17 තුළය.

"කොවිඩ් රෝග ලක්ෂණයි, ඩෙංගුවලයි ගොඩක් සමානකම් තියෙනවා. උණ, ඇඟපත වේදනාව, හිසරදය රෝග දෙකේම එකයි. මේවා තියෙනවා නම් කොවිඩ්වලට වගේම ඩෙංගුවලටත් බලන්න ඕන. කොවිඩ්වලදී විශේෂයෙන් ශ්වසන අපහසුතා ඇති වෙනවා," යනුවෙන් වෛද්‍ය අනුර ජයසේකර පෙන්වා දෙයි.

එබැවින් රෝග ලක්ෂණය කුමක් වුවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවක් කර ගැනීම සුදුසු බව ඔහු පවසයි.

Coronavirus Sri Lanka

වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවල ඩෙංගු වෛරසය වසර මුළුල්ලේම පැතිර යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. සමස්තයක් ලෙස ගත් කළ මෝසම් වර්ෂාවෙන් පසු වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.

  • නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව (මැයි - ජූලි අතර කාලයේදී)
  • ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතව (ඔක්තෝබර් - ජනවාරි දක්වා)

ශ්‍රී ලංකාවේ පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදීය. ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වී තිබෙන්නේ 1965-1966 වසරවලදීය.

ඩෙංගු යනු කුමක්ද ?

ඩෙංගු යනු වෛරස් අසාදන රෝගී තත්වයකි. වෛරස කාණ්ඩ 4කි. (DEN 1, DEN 2, DEN 3, DEN 4 ) මෙම වෛරසය පුද්ගලයකුට රැගෙන යන්නේ ඊඩිස් වර්ගයට අයත් අසාදිත ගැහැණු මදුරුවකු විසිනි. ඩෙංගු වෛරසය ශරීර ගතවූ දින සිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන දින තෙක් කාලය දින 3 සිට දින 14 දක්වා වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, දත්ත වලින් කොවිඩ් 19 ගැන නිවැරදි තත්වය පෙන්නුම් නොකරන බව PHI සංගමය කියයි

ඩෙංගු රෝග ලක්ෂණ

  • එක්වර ඇතිවන තද උණ
  • තද හිසරදය
  • ඇස් පිටුපස වේදනාව
  • අස්ථි හා පේශි වේදනාව
  • හන්දි කැක්කුම
  • ඔක්කාරය
  • වමනය
  • ශරීරයේ පලු මතුවීම
  • විදුරුමසින් හා නාසයෙන් සුළු ලේ ගැලීමේ තත්වයන්

ඩෙංගු රක්තපාත උණ

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩෙංගු: "අපි එන බයට තමයි පිරිසිදු කරන්නේ"

ඩෙංගු රක්තපාත උණ යනු සාමාන්‍ය ඩෙංගු රෝගයට වඩා තීව්‍ර රෝග තත්වයක් වන අතර මෙහිදී දින 2-7 අතර කාලයක් උණ පැවතිය හැකිය. සාමාන්‍ය ඩෙංගු උණ රෝග තත්වයේදී ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව මෙම රෝගීන්ට තද බඩේ කැක්කුම, නොකඩවා පවතින වමනය හා හුස්ම ගැනීමේ අපහසුතා ද පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසති. කුඩා රුධිර වාහිනී බිත්ති තුළ සිදුවෙන යම් වෙනස්කම් හේතුවෙන් රුධිර තරල කොටස රුධිරවාහිනී තුළින් උරස් හා උදර කුහරය තුළට කාන්දු වීමක් සිදු විය හැකිය. මෙම අවස්ථාව බොහෝවිට පැය 24 - 48 ත් අතර කාලයකට සීමාවන අතර අවදානම් අවදිය වශයෙන් හඳුන්වයි.

Presentational grey line
Presentational grey line

මෙලෙස රුධිරයේ තරලය රුධිර වාහිනී තුලින් පිටතට කාන්දු වීම නිසා රුධිර පරිමාවේ අඩුවීමක් හා රුධිරය ඝන වීමක් සිදුවන අතර මොලය, වකුගඩු, අක්මාව වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. මේ හේතුවෙන් රුධිර සංසරණය අඩපණ වී රෝගියා කම්පන තත්වයට පත්විය හැක. මෙම අවස්ථාවට පත්වීමට පෙර හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් රෝගියා මියයාමට පවා හැකියාව තිබේ.

රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

  • නොනවත්වා වමනය කිරීම
  • බඩේ කැක්කුම
  • තද පිපාසය
  • අධික නිදිමත බව හා සිහිමද ගතිය
  • ආහාර ප්‍රතික්ෂේප කිරීම
  • අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් වීම

රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය

  • අත් පා සුදුමැලි හා සීතල බව
  • නොසන්සුන්බව හා කලබලකාරී බව
  • සමේ පැහැය වෙනස් වීම
  • මුත්‍රා පිට නොවීම හෝ මුත්‍රා පිට වීම අවම වීම
  • හැසිරීමේ වෙනස් කම් - සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය

ඩෙංගු සඳහා ප්‍රතිකාර

මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ මදුරුවන් දෂ්ඨනය වළක්වා ගැනීම ඔබ ඩෙංගු රෝගයෙකු බවට පත් නොවීමට ඉවහල් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ මදුරුවන් දෂ්ඨනය වළක්වා ගැනීම ඔබ ඩෙංගු රෝගයෙකු බවට පත් නොවීමට ඉවහල් වේ

ඩෙංගු රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර නොමැති නමුත් රෝග තත්වයන් කලින් හඳුනාගෙන සේලයින් වැනි අවශ්‍ය අන්තර් ශිරා ද්‍රාවණ ලබා දීම හා රුධිර පරීක්ෂණ සිදු කිරීම ඇතුළු අවශ්‍ය සත්කාර කිරීම මගින් රෝගයේ සංකූලතා අවම කර ගත හැකිය. ඩෙංගු රෝගය බවට සැක කටයුතු අවස්ථාවක උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ලබා දෙනු ලැබේ. නමුත් අනෙකුත් වේදනා නාශක ඖෂධ කිසිම අයුරකින් නොගත යුතු අතර කිසිම ඇඟ වෙහෙස කරන ක්‍රියාවලින් හා ව්‍යායාම කිරීමෙන් වැළකි, අවශ්‍ය පමණට විවේක ගත යුතුය.

අවශ්‍ය පමණට දියර වර්ග පානය කළ යුතු අතර උණ, දින දෙකකට වඩා පවතින අවස්ථාවල සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය. එක දිගට පවතින වමනය, තද බඩේ කැක්කුම, කැරකිලි ස්වභාවය, හුස්ම ගැනීමේ අපහසුතා හෝ වෙනත් අසාධ්‍ය රෝග ලක්ෂණ පවතීනම් වහාම රෝහල්ගත වීම අවශ්‍ය වේ.

රෝගීන් සඳහා උපදෙස්

  • උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම.
  • උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම. (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත)
  • රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසාවත් වෙහෙස කර භාවයට පත් නොකිරීම.
  • වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම, මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ.
  • රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මළපහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
  • වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැකිය.

මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ මදුරුවන් දෂ්ඨනය වළක්වා ගැනීම ඔබ ඩෙංගු රෝගයෙකු බවට පත් නොවීමට ඉවහල් වේ.

(මුලාශ්‍ර: ජාතික ඩෙංගු මර්දන ඒකකය)

තවත් තොරතුරු: