ශ්‍රී ලංකාවේ පිපිරීම්: 'කම්පාව' මැද වගකීම ඉටුකළ වෛද්‍යවරුන්ගේ අත්දැකීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ටික වෙලාවකින් හදිසි ප්‍රතිකාර අංශයෙන් ඇමතුමක් ආවා තුවාල වුණ අය අරගෙන එනවා. ඉක්මනට වාර්තා කරන්න කියලා"

ඉරිදා දිනයක් වූ හෙයින් රෝහල් කාර්යමණ්ඩලයේ බොහෝ දෙනෙක් නිවාඩු ගොස් සිටියහ.

එදින කොළඹ ජාතික රෝහල වෙනදාට වඩා සන්සුන් ස්වභාවයක් ඉසිලූ අතර, ඒ අවට මාර්ග වෙනදා මෙන් රථ වාහන තදබදයෙන් තොර විය.

එහෙත් උදෑසන 9 පසුවනවාත් සමගම ඒ තත්ත්වය උඩුයටිකුරු විණි.

ලද තොරතුරුවලින් කියවුණේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා සුපිරි හෝටල් තුනකත්, මීගමුව කටුවාපිටිය දේවස්ථානය මෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයේත් පිපිරීම් වූ බවය. තොරතුරු ලැබිණි.

එතෙක් පැවති සන්සුන් බව පරයා මුළු ජාතික රෝහලම සීරුවෙන් සිටිද්දී තුවාලකරුවන් රැගෙන ඒම ආරම්භ විය. එකවර දෙසීයකට ආසන්න පිරිසක් ඇතුළු කළ අතර, පසුව මුළු ගණන 400ට ආසන්න විය.

ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමග, බරපතල තුවාල ලැබූ රෝගීන් විශාල ප්‍රමාණයක් නොකඩවා රෝහලට ඇතුළත් කෙරිණි. එමෙන්ම මළ සිරුරු විශාල ප්‍රමාණයක් ද රැගෙන එන්නට විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා හැම කෙනෙක්ම ඒ වෙලාවේ නොදන්වාම සේවයට වාර්තා කළා"

"එදා උදේ 9 පහුවෙනකොට අපිට විශාල ශබ්දයක් නම් ඇහුණා. ඒත් එක්කම කොළඹ බෝම්බයක් පිපිරුණා කියලා දැම්ම ෆේස්බුක් පෝස්ට් එකක් දැක්කා. නමුත් අපි ඒ අමිහිරි අතීතයෙන් මිදිලා ජීවත් වුණ නිසා එකපාර විශ්වාස කළේ නැහැ," කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය කේ. විජයා පැවසුවාය.

"නමුත් ටික වෙලාවකින් හදිසි ප්‍රතිකාර අංශයෙන් ඇමතුමක් ආවා තුවාල වුණ අය අරගෙන එනවා. ඉක්මනට වාර්තා කරන්න කියලා. ඒත් එක්කම මම දුවලා ගියා. අපිට එක දිගට ගිලන් රථවල ශබ්දය ඇහෙන්න ගත්තා. ඒ එක්කම තවත් බෝම්බ පිපිරුණා කියලා ආරංචිය ආවා."

"මම හදිසි අනතුරු අංශයේ කොරිඩෝව දිගේ දුවගෙන යනකොට බිම එකම ලේ ගොඩක්. තැන තැන පිච්චිලා කළු ගැහිච්ච මල සිරුරු තිබුණා. මම ඇත්තටම දැඩි කම්පනයකට පත් වුණා," යැයි ඇය පැවසුවාය.

"ගොඩක් මළසිරුරුවල උඩ කොටස විතරයි තිබුණේ."

එම දිනයේ රෝහල් කාර්යමණ්ඩලයේ බොහෝදෙනෙකු නිවාඩු ගොස් තිබුණ ද සිද්ධිය වී පැය දෙකක් වැනි කාලයක් ඇතුළත, සියලුදෙනා සේවයට වාර්තා කර තිබිණි.

"විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා හැම කෙනෙක්ම ඒ වෙලාවේ නොදන්වාම සේවයට වාර්තා කළා. ඒ වගේම අවට රෝහල්වල වෛද්‍යවරුන් සිය කැමැත්තෙන්ම වහාම කොළඹ ජාතික රෝහලට ආවා. ඒ වෙලාවේ එය දැඩි ශක්තියක් වුණා" යැයි කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/nationalhospitalSriLanka

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ප්‍රහාර සිදු වූ දිනයෙන් පසු නැවත ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකි පරිදි සියල්ල සූදානම් කිරීමට කොළඹ ජාතික රෝහල ක්‍රියා කර තිබේ

කෙසේවෙතත්, මෙම ප්‍රහාර එල්ලවූ දිනයෙන් පසු නැවත ඇති විය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට හැකි පරිදි සියල්ල සූදානම් කිරීමට කොළඹ ජාතික රෝහල ක්‍රියා කර තිබේ.

"ඒ වෙලාවේ රෝහලට ගෙනාපු බොහෝ අයගේ කොණ්ඩය සම්පූර්ණයෙන් වාගේ පිච්චිලා තිබුණේ. තවත් අය පිච්චිලා කළු ගැහිලා හිටියේ," වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය.

"බොහෝදෙනෙක්ට මේ සිද්ධ වුණ දේ හිතා ගන්න බැරුව මානසික ව්‍යාකූලතාවට පත් වෙලා හිටියා. තව අයට සිහිය එනකොට එකපාර ඉන්නේ රෝහලක කියන දේ තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ගියා."

මේ තොරතුරුද කියවන්න:

හදිසි අවස්ථාවක රෝගීන් විශාල ප්‍රමාණයක් එකවර ඇතුළු කළ විට ඔවුන්ගේ නම් ලබා ගැනීම හෝ දැනගැනීම එතරම් පහසු කරුණක් නොවේ. නම වෙනුවට ඔවුන්ගේ අතක හෝ පාදයක අංකයක් සහිත ඇමුණුමක් රැඳවීමට පියවර ගැනේ.

නොකඩවා පැමිණෙන ගිලන් රථ සහ පෞද්ගලික රථවල රැගෙන ආ පිරිස හදිසි අනතුරු අංශයේ පිවිසුම ආසන්නයේ සිට පරීක්ෂා කර, මියගිය අය මෘතශරීරාගාරයට මෙන්ම බරපතල තත්වයේ පසු වූවන් හදිසි අනතුරු අංශයට යොමු කිරීමට හා සුළු තුවාල ලැබූවන් වාට්ටුවලට ඇතුළු කිරීමට වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලය යුහුසුළුව ක්‍රියා කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නම වෙනුවට ඔවුන්ගේ අතක හෝ පාදයක නොම්මරයක් සහිත ඇමුණුමක් රඳවයි

"මම ඉන්න තැනට වයස අවුරුද්දක විතර පුංචි දරුවෙක් ගෙනාවා. එයාව සම්පූර්ණයෙන් කළු ගැහිලා තිබුණා. හම පිච්චිලා දිය වෙමින් තිබුණා. මට ඇත්තටම සෑහෙන දුකක් දැනුණා. නමුත් ඒ සියල්ල හිතේ තද කරගෙන, එක දිගට අපි වැඩ කළා," වෛද්‍ය කේ. විජයා පැවසුවාය.

උදෑසන දහය පමණ සිට පසුදා රැය පහන් වනතුරු තුවාලකරුවන්ට අවශ්‍ය ශල්‍යකර්ම කෙරිණි.

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර 42ක් ඇති අතර, පාස්කු ඉරිදා දින මේ සියල්ල එකවර විවෘත කිරීමට ක්‍රියා කර ඇත.

"එදා ආපු හැමෝටම වගේ ලේ දෙන්න වුණා. නමුත් හදිසි වෙලාවක සිය ගණනක් රෝගීන් එකවර ගෙනාවාම ලේ වර්ගය පරීක්ෂා කරලා ලේ දෙන්න හැකියාවක් නැහැ. නමුත් සර්ව දායකයා ලෙස හැඳින්වෙන O+ සහ O- යන ලේ වර්ග ඕනෑම කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. එදා ආපු හැමෝටම මේ වර්ගවල ලේ එක දිගට දීගෙන ගියා."

"සමහරුන්ට ලේ පයින්ට් 5ක් හෝ 6ක් එක දිගට දෙන්න වුණා. මෙය ඉතා ඉක්මණින් සිදු කරන්න වුණා," වෛද්‍ය පැහැදි ද සිල්වා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ ජාතික රෝහලට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අයුරු

එමෙන්ම, සාමාන්‍ය දිනයක රෝගීන් ශල්‍යාගාරයට ඇතුළත් කරන්නේ විශේෂ ඇඳුම් ඇගලා වුවත්, හදිසි අවස්ථාවක රැගෙන එන රෝගීන් ඇඳ සිටින ඇඳුමෙන් ශල්‍යාගාරය තුළට ගනු ලබයි.

"තුවාලකරුවන් බොහෝදෙනෙක්ට සපත්තු, සෙරෙප්පු තිබුණේ නැහැ. සමහර අය බලන්න දවස් කීපයක් ගතවෙනකම් කිසි කෙනෙක් ආවේ නැහැ. මොකද ඒ අයගේ පවුලේ අය හැමෝම මියගිහින්."

"ඒ වගේම විදේශිකයන් තනි වෙලා. ඒ අය නැවතිලා හිටපු හෝටල් කාමර දවස් ගණනක් වහලා දාලා, මොකද ඒවගේ හිටපු සමහරු මියගිහින් තවත් අය තුවාල වෙලා රෝහලේ," ඇය පැවසුවාය.

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වී දින දහයකට වැඩි කාලයක් ගත වුව ද තවමත් රෝගීන් බොහෝ දෙනෙකු වරින් වර ශල්‍යකර්මවලට භාජනය කෙරෙන අතර, තවත් විශාල ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරියන් දෙදෙනා පැවසූහ.

"හදිසි අනතුරු අංශය ඉස්සරහ විදේශිකයෙක් කෑගහලා අඬනවා දැක්කා. එයාගේ මුළු සිරුරම ලේ වලින් වැහිලා තිබුණේ. එයාගේ ළමයි දෙන්නයි, බිරිඳයි බෝම්බවලින් මියගිහින් කියලා පසුව දැනගත්තා. ඒ වගේ තවත් ගොඩක් මිනිස්සු පුදුම දුකකින් කෑ ගහනවා දැක්කා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මගේ ජීවිතයේ වැඩිම කම්පා වුණ දවසක් මේක. අපි අඳුරු අතීතයක් අමතක කරලා කොයි තරම් සතුටින්, සමගියෙන් මේ රටේ ජීවත් වුණා ද. රට හෙමින් හැදීගෙන ආවා විතරයි දැන් ආයෙත් කෙළවරක් නැති ප්‍රශ්න," වෛද්‍ය කේ. විජයා තවදුරටත් පැවසුවාය.

තවත් තොරතුරු: