සියෙරා ලියෝන්: නාය යාමෙන් මරණයට පත් සංඛ්‍යාව ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රීජන්ට් ප්‍රදේශයේ නිවාස සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත

ෆ්‍රීටවුන් අගනුවර ආසන්නයේ සිදු වූ නාය යාමට හසුව විපතට පත් වූවන් සොයා කෙරෙන බේරා ගැනීමේ මෙහෙයුම් යළි ක්‍රියාත්මක බව සියෙරා ලියෝන්හි බලධාරීහු පවසති.

මඩ තට්ටු සහ ගංවතුරට හසුව තුන්සියයකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එරට බලධාරීහු කියා සිටියහ.

සඳුදා (අගෝස්තු 14) රාත්‍රියේ අඳුර වැටීමත් සමග බේරා ගැනීමේ මෙහෙයුම් නවතා දැමිණි.

අනතුරුදායක කලාපයෙන් ඈත්ව සිටින ලෙසත් සංසුන්ව කටයුතු කරන ලෙසත් සියෙරා ලියෝන්හි ජනාධිපති අර්නස්ට් බායි කොරෝමා එරට ජනතාවගෙන් ඉල්ලා සිටී.

රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ඔහු විසින් වත්මන් තත්ත්වය විග්‍රහ කරනු ලැබුවේ "ජාතික ව්‍යසනයක්" ලෙසය.

ඒ සඳහා අවශ්‍ය පියවර ගනු වස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, සියෙරා ලියෝන්: "ජාතික ව්‍යසනයක්"

තුන් දහසකට ආසන්න සංඛ්‍යාවකට නිවාස අහිමි වී ඇති බව ඇස්තමේන්තු කෙරේ.

සියෙරා ලියෝනය නිතර ගංවතුර උවදුරට මුහුණ දෙන අතර 2015 වසරේ දී ධාරානිපාත වර්ෂාවකින් අනතුරුව අගනුවර හටගත් ගංවතුරෙන් දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය.