රාජපක්ෂ පවුලේ තිදෙනෙකු මේ සතියේ ප්‍රශ්න කිරීම්වලට

ඡායාරූප මූලාශ්‍රය, Getty/Rohitha Rajapaksa

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු මේ සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවනු ලැබ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අඟහරුවාදා (අගෝස්තු 15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන අතර ඇයගේ පුත් යෝෂිත රාජපක්ෂ ඒ වෙත කැඳවනු ලැබ ඇත්තේ බදාදාය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස ශිරන්ති රාජපක්ෂ පසුගිය ජුලි 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නමුත් ඇය එදින පෙනී සිටිය නොහැකි බව දන්වා තිබුණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ද එම පරීක්ෂණය සඳහාම එම සතියේ කැඳවා තිබූ අතර ඔහු ද පුද්ගලික හේතුවක් මත පැමිණිය නොහැකි බව දන්වා තිබුණි.

කෙසේ වෙතත් මෙම සතියේ ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසි සිංහල සේවයට තහවුරු කළේය.

ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ රතුකුරුස ආයතනය විසින් ඇයගේ 'සිරිලිය සවිය' සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දන්වා තිබිණි.

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් යෝෂිත රාජපක්ෂ

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

'සිරිලිය' සංවිධානයේ ගිණුමක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මින් පෙර ප්‍රශ්න කිරීමකට ලක් වූ නමුත් එය සිදු වූයේ එවක පාර්ලිමේන්තු කථානායක ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂගේ නිල නිවසේදීය.

ඇයට එලෙස විශේෂ වරප්‍රසාද ලබාදීම පිළිබඳ ආණ්ඩුව සිවිල් සමාජ කණ්ඩායම්වල විවේචනයට ද ලක්විය.

කෙසේ වෙතත් මෙවර ඇය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමතව ඇත.

ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ ද මේ සතියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් සපයන ලෙස දන්වා තිබේ.

'සැටලයිට්'

ඡායාරූප මූලාශ්‍රය, Rohitha Rajapaklsa

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ

ඒ ඔහු සම්බන්ධ වූ චන්ද්‍රිකා (සැටලයිට්) ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවන පරීක්ෂණයකට අදාළවය.

ආණ්ඩුව, බැඳුම්කර සිද්ධිය යට ගැසීමේ අරමුණින් තම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා මේ සතියේ කැඳවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, twitter.com

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩය

රාජපක්ෂ පවුලට එරෙහිව එල්ලවී ඇති වංචා හා දූෂණ පරීක්ෂණ හැකි ඉක්මනින් විභාග කර අවසන් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් අගමැතිවරයාගෙන් පසුගිය සතියේ ඉල්ලීමක් කර තිබුණි.

එම පරීක්ෂණ මන්දගාමීව සිදුවීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ වගකිවයුතු බවත් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවත් එම මන්ත්‍රීවරු අගමැතිවරයාට දන්වා තිබේ.

කෙසේ නමුත් එම විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණයක් ලබන 17 වෙනිදා රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ඇති බව වාර්තා වේ.