"කුඩා බලාගාර නැතිනම් විදුලිය කපන්න වෙනවා"

ඡායාරූප ශීර්ෂ වැකිය, "ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය සතුන් සහ උභය ජීවීන් විනාශවෙමින් පවතිනවා"

ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන කුඩා ජලවිදුලි බලාගාර හේතුවෙන් පරිසරයට සහ ජෛව විවිධත්වයට දැඩි හානි පැමිණෙන බව පරිසරවේදීහු චෝදනා කරති.

කුඩා ජලවිදුලි බලාගාරවලින් ජාතික ධාරිතාවට සුළු විදුලිය ප්‍රමාණයක් එකතුකර ගැනීම සඳහා විශාල පරිසර හානියක් සිදුකරන බව පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය.

මීට ප්‍රතිචාර දක්වමින් විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ කුඩා ජලවිදුලි බලාගාරවලින් ලබා ගන්නා ධාරිතාව අහිමි වුවහොත් ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා ජලවිදුලි බලාගාරයකට එරෙහිව පැවති විරෝධතාවක්

මෙගාවොට් 300ක්

ශ්‍රී ලංකාවේ සම්පුර්ණ විදුලි අවශ්‍යතාව මෙගාවොට් හාරදහසක් බවත් ඉන් මෙගාවොට් 300ක් සැපයෙන්නේ කුඩා ජලවිදුලි බලාගාරවලින් බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාවට පානීය ජලය හිඟවීම

කෙසේ නමුත් පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේ කුඩා ජලවිදුලි බලාගාර නිසා අදාළ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය හිඟවීමට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය සතුන් සහ උභය ජීවීන් විනාශවෙමින් පවතින බවය.