"ඌව කැරැල්ලෙන් පැනල ආපු අපට වතුර නැහැ"

ඡායාරූප ශීර්ෂ වැකිය, බක්මිටියාව ගම්වාසීන් බීමට ජලය සොයා

බීමට දිය පොදක් ලබා ගැනීමට තිබූ 'දූවිලි ඔය' සිඳීයාමෙන් අම්පාරේ බක්මිටියාව ගම්මානයේ පවුල් 350ක් පමණ දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටිති.

බක්මිටියාව ගම්වාසීන් බීමට ජලය සොයා ගන්නේ පතුලටම සිඳීගොස් ඇති දූවිලි ඔයේ තැනින් තැන වලවල් හාරා ගැනීමෙනි.

මැතිවරණ සමයට පමණක් පැමිණෙන දේශපාලනඥයන් මෙම ගම්මානයට ජලය ලබාදෙන බවට පොරොන්දුවී ඇති බව ගම්වාසීහු සංදේශයට පැවසුහ.

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඡන්දේ ගන්නනම් එනව කට්ටිය"

වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගැනීම සඳහා පිරිසක් බක්මිටියාවට පැමිණි බවත් තමන් එම ප්‍රජාවේ තුන්වැනි පරම්පරාව බවත් එස් සුබසිංහ ප්‍රකාශ කළේය.

"ඌව කැරැල්ලෙන් පැනල ආපු කට්ටිය අපි, අපේ මහ කට්ටිය. දැන් අසරණවෙලා ඉන්නේ. කෑමබීම හිඟයි, වතුර නැහැ. දැන් අවුරුදු දෙකකින් වරුසාව නැහැ." යනුවෙන් ඔහු පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ බලධාරීන් තම ගම්මානයට ජල සැපයුමක් ලබා දීම සඳහා මේවනතෙක් කටයුතු කර නොමැති බව, දූවිලි ඔයේ වලක් හාරා දිය රැස්කරමින් සිටි මවක් වන ජී චන්ද්‍රාවතී ප්‍රකාශ කළාය.

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපිව රජයට අයිති නැතුව ඇති, අපිට මෙහෙම කරන්නෙ"

"ඡන්දේ ගන්නනම් එනව කට්ටිය. ඡන්දෙ දුන්නම වැඩ කරල දෙනවා කියල යනවා. ඊට පස්සේ කවුරුවත් හොයල බලන්නේ නැහැ. අපිව රජයට අයිති නැතුව ඇති, අපිට මෙහෙම කරන්නෙ." යනුවෙන් ඇය පැවසුවාය.

බක්මිටියාවේ ජනතාවට පවතින ජල ප්‍රශ්නය පිළිබඳව සංදේශය විමසූවිට දමන ප්‍රාදේශීය ලේකම් එස් සිරිවර්ධන කියා සිටියේ තමා මේ පිළිබඳව එතෙක් දැනුවත්වී නොසිටි බවය.

කෙසේනමුත් මෙම ජල ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ඔහු පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඌව කැරැල්ලෙන් පැනල ආපු කට්ටිය අපි, අපේ මහ කට්ටිය. දැන් අසරණවෙලා ඉන්නේ"