'රොහින්ග්‍යා නිවාස එක්දහස් දෙසීයක් විනාශ කරලා'

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් දහ වෙනිදා රක්කෙන් නගරයේ වාපෙයික් ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් දහ අට වෙනිදා එම ප්‍රදේශයේම චන්ද්‍රිකා ඡායාරූපයක්

මියන්මාරයේ, ගැටුම් පවතින රක්කෙන් නගරයේ රොහින්ග්‍යා මුස්ලිම් ගම්මානවල නිවාස එක්දහස් දෙසීයකට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අයුරු චන්ද්‍රිකා ඡායාරූප වලින් දක්නට ලැබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

පසුගිය සතියේ ආරක්ෂක මුරපොලකට එල්ල කෙරුණු හදිසි ප්‍රහාරයකින් ඇරඹි ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට මේ වන විට මියන්මාර හමුදාව කැරලි මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් රක්කෙන් නගරයේ ජීවත් වූ දස දහස් සංඛ්‍යාත රොහින්ග්‍යා මුස්ලිම් ජනතාව සිය ගෙවල් දොරවල් හැරදමා පලා යමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගැටුම්කාරී තත්වය පාලනය කිරීමට මේ වන විට මියන්මාර හමුදාව කැරලි මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇත

රක්කෙන් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ගැටුම් වලින් මිය ගොස් ඇති බව ද වාර්තා වන නමුත් එම තොරතුරු සහතික කර ගැනීමේ අවස්ථාවක් නැති බව පැවසෙයි.

මීට හේතුව වශයෙන් මාධ්‍ය පෙන්වා දෙන්නේ ගැටුම් පවතින රක්කෙන් නගරයේ කිසිදු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණයකට ඉඩ ලබා දීම බුරුම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.

මින් පෙර ඉදිරිපත් වූ චන්ද්‍රිකා ඡායාරූප මගින් රෝහින්ග්‍යා මුස්ලිම් ගම්මාන විනාශ වී ඇති බව ප්‍රකාශ වුනත් එම තොරතුරු ප්‍රතික්ෂේප කළ බුරුම රජය පවසන්නේ නම් නොකළ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් නිවාස කීපයක් විනාශ වී ඇති බවය.