සිරියාවේ ගැටුම: ජනාධිපති පූතින් ප්‍රංශ සංචාරය අවලංගු කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පූතින් මේ මාසය අගදී ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිතව සිටියේය

සිරියාවේ ගැටුම් සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් රුසියාවේ ජනාධිපති ව්ලැද්මීර් පූතින් එළඹෙන සතියට යොදා තිබූ සිය ප්‍රංශ සංචාරය අවලංගු කර තිබේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුර ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඔලෝන්ද් සමඟ හමුවක් සංවිධානය කර තිබූ අතර ප්‍රංශයේ පිහිටි ඕතඩොක්ස් පල්ලියක් විවෘත කිරීමටද කටයුතු යොදා තිබිණි.

දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සිරියානු අර්බුදයට පමණක් සීමා වනු ඇති බව ප්‍රංශ ආණ්ඩුව නිවේදනය කිරීමත් සමග රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කොට ඇති බවයි ප්‍රංශය ජනාධිපති කාර්යාලයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර පිළිබඳව ප්‍රංශයේ දැඩි අවධානය

සිරියාවේ අලෙප්පෝ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාවට යුද අපරාධ චෝදනාවලට මුහුණ දීමට සිදු වෙතැයි ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් සඳුදා පැවසීය.

මේ අතර අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් අත පවතින දිස්ත්‍රික්ක ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම රුසියානු ප්‍රහාරක යානා නැවත ආරම්භ කර ඇති බව වාර්තා වේ.

රුසියාවේ වෙනත් ප්‍රදේශවලින් ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන අතර අයිඑස් කැරලිකරුවන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී දස දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.