ඉන්දීය කාශ්මීරයේ හමුදා කඳවුරකට ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය කාශ්මීරය පුරා ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ

ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් වී ඇති බව ඉන්දීය හමුදාව පවසයි.

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරට කඩා වැදුණු ප්‍රහාරකයන් සිව් දෙනකු මරා දැමුණු බවයි ඉන්දීය හමුදා නිලධාරියකු බීබීසීයට කියා සිටියේ.

මෑත වසර කීපය තුළ ඉන්දීය කාශ්මීරයේ ආරක්ෂක අංශ ඉලක්ක කොට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රහාරය හෙලා දකිනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය

ඉන්දීය කාශ්මීරයේ පවතින වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් දිල්ලි අගනුවර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

පසුගිය සති දහය ඇතුළත ඉන්දීය කාශ්මීරයේ ඇති වූ බෙදුම්වාදී උද්ඝෝෂණ හේතුවෙන් මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව අසූවකට අධිකයි.