විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙක් අධිකරණය ඉදිරියට

ඡායාරූප ශීර්ෂ වැකිය, එ.ජා.කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට නීති විරෝධී ලෙස උද්ඝෝෂණ පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය පෙබරවාරි මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණ විසින් ගෙන ගිය විරෝධතා ව්‍යාපාරය තුළ සිදු කෙරුණ මාර්ග අවහිර වීම් සහ එමගින් සිදු කළ මහජන පීඩාව සම්බන්ධයෙන් විමල් වීරවංශ ,ජයන්ත සමරවීර,වීරකුමාර දිසානායක ඇතුළු හත් දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කරන බවයි පොලිසිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට එරෙහිව

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියා සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා යුධ හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන ශ්‍රී ලංකා රජයට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට විරෝධය පළ කිරීමට සඳහා එම උද්ඝෝෂණය ගෙන ගිය බවයි සඳහන් කළේ.

අනතුරුව පැමිණිල්ල ලබන නොවැම්බර් මස 25 වෙනි දින කැඳවීමට නියම කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට එදින පියවර ගන්නා මෙන් පොලිසියට නියම කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ එ.ජා. කාර්යාලයට පොලිස් රැකවරණ