FIFA ලෝක කුසලානය 2022: විශිෂ්ට ඡායාරූප සහ ඒවායේ පිටුපස කතාව

මෙම වසරේ ලෝක කුසලානයේ දී, Getty Imagesහි ඡායාරූප ශිල්පීන් සහ මෙහෙයුම් කාර්යය මණ්ඩලයේ 50කට වැඩි පිරිසකින් සැදුම්ලත් කණ්ඩායමක් කටාර්හි සිටි අතර, ලන්ඩනයේ සහ ලොව පුරා සිටින තවත් සංස්කාරකවරුන් 20 දෙනෙකු සමග එම ඡායාරූප තත්‍යකාලීනව සංස්කරණයකර, තත්පර කිහිපයක් තුළ ඒවා පරිහරණයට නිදහස් කිරීමට ඔවුනට හැකිවිය.

2022 ලෝක කුසලාන 'පුස්තකාලයේ' වූ විශිෂ්ට ඡායාරූප 22ක් සහ ඒවා ඡායාරූපගත කළ පුද්ගලයා විසින් ඉදිරිපත් කෙරෙන ඒවායේ පිටුපස කතාවයි මේ.

ඡායාරූප මූලාශ්‍රය, Dan Mullan/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 23: කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී, ජර්මානු කණ්ඩායමේ ගෝල රකින්නා වූ මනුවෙල් නෝයර් පන්දුවට හිසෙන් පහරක් එල්ලකිරීම සඳහා ජපානයේ පසුපෙළ ආරක්ෂක ක්‍රීඩක මයා යොෂිදා සමග තරග වදියි (ඩෑන් මලන්ගේ ඡායාරූපයකි)

ඩෑන් මලන්: තරගය අවසන් වීමට ආසන්නයේ දී කොණක සිට එල්ලකරන පහරක් සඳහා නෝයර් ක්‍රියා කළ අවස්ථාවේ මා සිටියේ ආරක්ෂක පළඳනාවක් හැඳ, කැමරා දෙකක්, ලෙන්ස් දෙකක් ඊට සවිකර ගෙන, තණතිල්ලට ඉහළින් පිහිටි කැට්වෝක් වේදිකාවේ යි. ගෝල රකින්නන් දෙදෙනාම එක රාමුවක සිටින පින්තූරයක් ගන්නට ලැබෙන්නේ කලාතුරකින්. ආක්‍රමණශීලී කණ්ඩායම කවුද, ආරක්ෂිත මුහුණුවරකින් ක්‍රීඩා කරන කණ්ඩායම කවුද කියන එක පින්තූරයෙන් කියන්නට බැහැ. මේ වගේ ඉහළ කෝණයකින් ගත් පින්තූර බොහෝ පාපන්දු තරගවල දී ඔබට දැකගත නොහැකියි. මේ රාමුව හොඳ රාමුවක් වෙන්නේ පන්දුව පොළොවෙන් ඉහළ තිබීම - ඉන් අදහස් වන්නේ ක්‍රීඩකයින් සියලුදෙනා ඉහළ බලාගෙන සිටිනවා කියන එක යි. ක්‍රීඩකයින්ගේ මුහුණු පෙනෙන්නට තිබීම, විශේෂයෙන් ඉහළ සිට පෙනෙන්නට තිබීම, පින්තූරයට වටිනාකමක් එක්කරනවා.

ඡායාරූප මූලාශ්‍රය, Lars Baron/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 23: ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්‍රික්, මොරොක්කෝවට එරෙහිව අල් බයිත් ක්‍රීඩාංගනයේ පැවැත්වුණු එෆ් කාණ්ඩයේ තරගයට පෙර (ලාර්ස් බැරන්ගේ ඡායාරූපයකි)

ලාර්ස් බැරන්: තණතිල්ල අඩක් හිරු එළියේත්, අඩක් සෙවණේත් තිබිය දී ක්‍රොඒෂියා ක්‍රීඩකයා සිරුර උණුසුම්වීමේ ව්‍යායාම සිදුකරමින් සිටියා. පසුබිම පූර්ණ ආලෝකයේ තිබිය දී එය ඡායාරූපගත කිරීමට තරම් හොඳ ඡායාවක්යැ යි සිතූ නිසා, මා තවමත් ලොව හොඳම ක්‍රීඩකයින්ගෙන් අයෙකු වන ලූකා මොඩ්‍රික්ගේ හොඳ කෝණයක් ලබාගැනීමට හැකි ලෙස ස්ථානගත වුණා. මා ඔහුගේ හිස ඡායාවක් ලෙස පින්තූරයට ලබා ගැනීමට මාගේ කැමරාව හයිලයිට් එක්ස්පෝෂර් සෙටින්ග් එකට සකස් කළා - හැඩය නිසා, ඒ මොඩ්‍රික්බව සියලුදෙනාට හඳුනාගත හැකියි.

ඡායාරූප මූලාශ්‍රය, Lars Baron/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 23: ක්‍රොඒෂියාවේ මාර්සෙලෝ බ්‍රොසොවිච්, මොරොක්කෝවට එරෙහි තරගයේ දී නිදහස් පහරක් ආරක්ෂා කිරීම සඳහා බිම වැතිර සිටියි (ලාර්ස් බැරන්ගේ ඡායාරූපයකි)

ලාර්ස් බැරන්: දඬුවම් කලාපයෙන් පිටත සිට එල්ලකරන නිදහස් පහරක් මොරොක්කෝවට ලබාදුන් මොහොතේ දී ක්‍රොඒෂියාව සිටියේ ආරක්ෂක පෙළක් සෑදීමට සුදුසුම ස්ථානයේ යි. ආරක්ෂක පෙළ උඩ පනිනා අවස්ථාවක පොළොවට ආසන්නයෙන් එල්ලවෙන පන්දුවක් වැලැක්වීම සඳහා බොහෝ කණ්ඩායම් දැන් එක් ක්‍රීඩකයෙකුට බිම වැතිරීමට සලස්වනවා. එනිසා, උඩ පනින ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ පාවහන් පසුබිම් කරගෙන, බිම වැතිර සිටින ක්‍රීඩකයා ඉලක්කකර ඡායාරූපයක් ගැනීම අලංකාර වනු ඇතැ යි මෙවර මම සිතුවා.

ඡායාරූප මූලාශ්‍රය, Michael Steele/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 24: ලුසේල් ක්‍රීඩාංගනයේ දී සර්බියාවට එරෙහිව පැවැත්වුණු මූලික වටයේ ඔවුන්ගේ ආරම්භක ජයග්‍රාහක තරගයේ දී (ගෝල 2-0) රිචර්ලිසන් බ්‍රසීලයේ දෙවන ගෝලය වාර්තා කරයි (මයිකල් ස්ටීල්ගේ ඡායාරූපයකි)

මයිකල් ස්ටීල්: රිචර්ලිසන්, සර්බියාවට එරෙහිව ඔහුගේ දර්ශනීය ගෝලය ලබාගන්නා ආකාරය දැක්වෙන මෙම ඡායාරූපය ලබාගැනුණේ මාධ්‍ය සඳහා වෙන්කර තිබූ ස්ථානයේ පිහිටුවා තිබූ දුරස්ථ කැමරාවකින්. උස් ස්ථානයකට ප්‍රවේශවීමට [මාධ්‍යවේදීන්ට] අවසර ලැබෙන්නේ ප්‍රධානතම පාපන්දු තරගවල දී පමණක් වන අතර, එය අපට නව කෝණයන් ලබාදෙනවා. දඬුවම් පහර කලාපය වටකට මා කැමරා දෙකක් සවිකර තිබුණා. ඉන් පුළුල් කෝණයක් ලබාගත හැකි කාචය සහිත කැමරාවෙන් ප්‍රේක්ෂකයින් ආවරණය කෙරුණු අතර, මෙම පින්තූරයේ දැක්වෙන පටු රාමුව මා අතේ ගෙනියන කැමරාවකින් අර්ධ රේඛාවේ මා සිටි ස්ථානයේ සිට ලබාගත්තා.

ඡායාරූප මූලාශ්‍රය, Dan Mullan/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 26: ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නාන්දෙස්, ලුසේල් ක්‍රීඩාංගනයේ දී මෙක්සිකෝවට එරෙහිව මූලික වටයේ දී ලද 2-0 ජයග්‍රහණයේ දෙවන ගෝලය ලබා ගනිමින් (ඩෑන් මලන්ගේ ඡායාරූපයකි)

ඩෑන් මලන්: මෙම පින්තූරය ලබාගැනුණේ ගෝලය තුළ තබා ඇති කුඩා දුරස්ථ කැමරාවක්, තණතීරුව පසෙකින් වූ මා සිටි ස්ථානයේ සිට ක්‍රියාත්මක කිරීමෙන්. එය අපි කලක් තිස්සේ අත්හදා බැලූ විශේෂ කෝණයක්. මේ පින්තූරය හොඳ එකක් වෙන්නේ, මෙක්සිකෝවේ ගෝල රකින්නා පන්දුව සීමාව පසුකරන මොහොතේ පොළවෙන් ඉහළ, පනින ඉරියව්වක සිටීම නිසා යි. මේ කාලයේ දී පාපන්දු තරගයක් අතරතුර වෙනස් කෝණයන් සෙවීම අපහසු කටයුත්තක් වන නමුත්, ඉඳහිට සාර්ථක මොහොතක් ලැබෙන අතර එය හොඳින් ඡායාරූපයට හසුවෙනවා - මේත් එවැනි මොහොතක්. මෙවැනි අවස්ථාවන් ග්‍රහණයකර ගැනීමට අපට ඉඩකඩ සලසමින් තිරය පිටුපස තාක්ෂණය පරිපූර්ණ කරන ගෙටී ඉමේජස්හි මා සගයින්ට ගෞරවය හිමිවිය යුතු යි.

ඡායාරූප මූලාශ්‍රය, David Ramos - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 28: දකුණු කොරියාවට එරෙහිව එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන H කාණ්ඩයේ තරගයට පෙර තණතීරුව පරීක්ෂා කිරීමට ඝානා ක්‍රීඩකයින් සූදානම්වෙමින් (ඩේවිඩ් රාමොස්ගේ ඡායාරූපයකි)

ඩේවිඩ් රාමොස්: 2009 වසරේ සිට ෆීෆාහි අවසරලත් ඡායාරූප ඒජන්සිය වුණේ ගෙටී ඉමේජස්. මේ සබඳතාවේ එක් ඉලක්කයක් තමයි තිරය පිටුපස සිදුවන දේ වාර්තාගත කරන එක. මේ ඡායාරූපය ඊට පැහැදිලි උදාහරණයක්. ක්‍රීඩාංගණයට පැමිණි වෙලේ ක්‍රීඩකයෝ ඔක්කොම බස් රථයෙන් එකටම බැහැලා, ඇඳුම් මාරුකිරීමේ කාමරයට ඇතුළු වුණේ ගයමින්, නටමින්. ඝානා කණ්ඩායම එහි පැමිණීම විශේෂ වනු ඇතැයි මා දැන සිටි නිසා, මට ක්‍රීඩකයින් අතරට යා හැකි පරිදි බසයත් ඇඳුම් මාරුකිරීමේ කාමරයත් අතරමැද තැනක කොරිඩෝවේ රැඳී සිටින්න මම තීරණය කළා. මේ ඡායාරූපය ග්‍රහණයට පහසුවූ එකක් - ඔවුන් ඔවුන්ගේ කටයුත්තේ යෙදී සිටිය දී ගත් පුළුල් කෝණ ඡායාරූපයක්. ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යෑමට නොහැකිවීම කණගාටුවක්.

ඡායාරූප මූලාශ්‍රය, Matthias Hangst/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 30: ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී, 974 ක්‍රීඩාංගනයේ පැවැත්වුණු ඔවුන්ගේ C කාණ්ඩයේ තරගය අතරතුර දී පෝලන්තයේ වොයිෂෙක් ස්ටැන්ස්නෙ අතින් ෆවුල් ප්‍රහාරයකට ලක්විය - වීඩියෝ සහකාර විනිසුරු පරීක්ෂා කිරීමෙන් පසු දඬුවම් පහරක් ලබාදීමට එම සිදුවීම හේතුවිය (මතායස් හෙන්ග්ස්ට්ගේ ඡායාරූපයකි)

මතායස් හෙන්ග්ස්ට්: මේ තරගය වේදිකාවේ සිට ආවරණය කිරීම මට පැවරුණා. ඉන් අදහස් වෙන්නේ, ඉහළ සිට පෙනෙන දර්ශනය ඇතිව පාපන්දු තරගයක් ආවරණය කිරීම සඳහා, ආරක්ෂක පළඳනාවක් හැඳ ක්‍රීඩාංගනයේ වහලක් මත සිටීමට ඔබට ඉඩ ලැබෙනබව යි. එය විශේෂ හා වෙනස් දර්ශනයක් ඔබට ලබාදෙනවා. මෙසී, තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින්ගෙන් අයෙකු නිසා මම ආජන්ටිනාවේ ආක්‍රමණශීලි ප්‍රහාරක ක්‍රීඩා විලාසය ගැන මුළු අවධානයම යොමුකරලා යි හිටියේ. ඔහු ගෝල රකින්නෙකු හා ගැටීම නිතර සිදුවන්නක් නොවන නිසා, මම එම අවස්ථාව මි.මී. 400 ලෙන්සයකින් ආවරණය කළේ සතුටින්. ගෝල රකින්නාගේ අත, පාපන්දුව වළකනවා වෙනුවට මෙසීගේ මුහුණෙහි වැදුණා. ඉන්පසු ලබාදුන් දඬුවම් පහර මෙසී අතින් ගිලිහුණත්, ඔවුන් තරගය දිනුවා.

ඡායාරූප මූලාශ්‍රය, Shaun Botterill - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 1: කොස්ටාරිකාවට එරෙහිව අල් බයිත් ක්‍රීඩාංගනයේ පැවති තරගය අවස්ථාවේ, මූලික වටයේ දී තරගාවලියෙන් ඉවතට විසිවීම හේතුවෙන් ජර්මනි බංකුවේ සිටි ක්‍රීඩකයෝ කලකිරී සිටිති (ෂෝන් බොටරිල්ගේ ඡායාරූපයකි)

ෂෝන් බොටරිල්: ජයග්‍රාහී මොහොතවල් ඡායාරූපගත කිරීම විනෝදාත්මක යි, නමුත් මේ රැකියාවේ දුෂ්කරම කොටස තමයි කණ්ඩායමක් ලෝක කුසලානයෙන් ඉවතට වීසිවෙන අවස්ථාව ඡායාරූපගත කරන එක. පළමු තරගය පරාජයවීමෙන් පසු, තම කාණ්ඩය ජයගැනීමට ජර්මනියට පීඩනය එල්ලවුණා. කායි හාවර්ට්ස් පිටියට පිවිස ගෝල දෙකක් වාර්තාකර, තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ නමුත් ඔවුන්ගේ කණ්ඩායමට ගෙදර යන්නට සිදුවුණා. ඔබ දිගු කාචයක් යොදා ඡායාරූප ගැනීම මඟින් ඔවුන්ගේ දෘෂ්ටි පථයේ වැඩි වෙලාවක් රැඳී නොසිටීමට උත්සාහ කරනවා. එම මොහොත සලකුණු කිරීම සඳහා, කැපී පෙනීමෙන් තොරව ඡායාරූප කීපයක් ලබාගන්නට මම සමත්වුණා.

ඡායාරූප මූලාශ්‍රය, Francois Nel/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 2: ස්විට්සර්ලන්තයේ ග්‍රනිත් චාකා සහ සර්බියාවේ නිකොලා මිලෙන්කොවිච් 974 ක්‍රීඩාංගනයේ දී ඔවුන්ගේ කණ්ඩායම් අතර පැවැත්වුණු G කාණ්ඩයේ තරගයේ දී ආරවුලක් අතරතුර (ෆ්‍රොන්සුවා නෙල්ගේ ඡායාරූපයකි)

ෆ්‍රොන්සුවා නෙල්: පිළිමළුන් පිටුදැකීමේ තරගාවල දී, පන්දුවෙන් ඉවත දී සිදුවන සිද්ධීන් පිළිබඳ විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත්. චාකා, ජර්දාන් ෂකීරි වැනි ප්‍රධාන ස්විස් ක්‍රීඩකයින් ගැන අවධානයෙන් පසුවන්නැ යි, ස්විට්සර්ලන්තයට එරෙහි සර්බියා තරගයට පෙර අපේ සංස්කාරකවරුන් අපට උපදෙස් දුන්නා. ඔවුන්ට කොසොවාර් මූලයන් තිබෙනවා වගේම, 2018 දී, ක්‍රීඩකයින් දෙදෙනාම ගෝල ලබාගැනීම ඔවුන් විසින් සැමරුවේ තමන්ගේ අත්වලින් හිස් දෙකක් ඇති රාජාලියෙක් සාදා පෙන්වීම මඟින් (හිස් දෙකේ රාජාලියා ඇල්බේනියානු ධජය සංකේතවත් කරයි. කොසොවාර්වරුන් කොසොවෝහි වෙසෙන ඇල්බේනියානු වාර්ගික කණ්ඩායමකි). සිදුවන්නේ මොකද්ද යන්න වටහා ගැනීමට මේ වැදගත් තොරතුර ඔබට උදව් වෙනවා. පන්දුව පිටියෙන් පිටතට ගිය අවස්ථාවේ චාකා සහ මිලෙන්කොවිච් අතර වචන හුවමාරුවක් සිදුවුණා. ඉතින් එය ඉන් ඉදිරියට යනු ඇති ද යන සැකය නිසා මම ක්‍රීඩකයින් දෙදෙනාම ගැන විමසිල්ලෙන් සිටියා.

ඡායාරූප මූලාශ්‍රය, Maja Hitij - FIFA/ GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 3: අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේ දී පිළිමළුන් පිටුදැකීමේ අදියර තුළ ඕස්ට්‍රේලියාවට එරෙහි ආර්ජන්ටිනාවේ අවසන් තරගයට පෙර, ක්‍රීඩකයින් හා තණතිල්ල වෙත ඇවිද යෑමට සැරසෙන ළමුන් මෙසී සමග කතාබස් කරමින් (ඡායාරූපය මායා හිටීජ්)

මායා හිටීජ්: ලයනල් මෙසී ක්‍රීඩා කරන හැමවිටම ඇඳුම් අඳින කාමරය හා පිටිය අතර කොරිඩෝවේ උද්යෝගයක් තිබෙනවා, විශේෂයෙන්ම ක්‍රීඩකයින් පිටිය වෙත කැඳවාගෙන යන ළමුන් අතරේ. ඔහු හැමවිටම එය අමතක නොවන අත්දැකීමක්බවට පත්කිරීම සඳහා ළමුන් සමග කතාබස් කරනවා - ඇතැම්විට ඒක හරියට වෙනත් ක්‍රීඩකයින් එහි නොසිටිනවා වාගෙයි. ඇඳුම් අඳින කාමරය හා පිටිය අතර කොරිඩෝව රූපවාහිනී කැමරාවලින් පිරුණු ප්‍රදේශයක්, ඒ නිසා සජීවී විකාශයකට බාධා නොකිරීමට වගබලාගන්න අපට හැමවිටම සිදුවෙනවා - මොකද පරිපූර්ණ තැනක් සොයාගැනීම අපහසුවෙන්න හැකි නිසා. මම [එම ප්‍රදේශයේ] ආජන්ටිනා කණ්ඩායමේ පැත්තේ ස්ථානගත වෙලා, ඇඳුම් කාමරයේ සිට මෙසී සිය කණ්ඩායම සමග එනතෙක් බලා සිටියා. ඔහු හැම ළමයෙකුටම ආචාර කළා, නමුත් එක් දැරියක් (ඇය නොවෙයි ඔහු පිටිය වෙත කැඳවාගෙන යමින් සිටි දැරිය) ඉදිරියට රිංගා පැමිණ ඔහුට පැවසුවා ඇය ඔහුගේ හොඳ රසිකාවක්බව. ඒ මොහොතේ දී තමයි ඇය ඇගේ මහපටැඟිලි ඔසවා සන් කළේත්, ඔහු සිනාසුනේත්.

ඡායාරූප මූලාශ්‍රය, Laurence Griffiths/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 4: අල් තුමාමා ක්‍රීඩාංගනයේ දී පැවැති, පිළිමළුන් පිටුදැකීමේ අදියරේ ඔවුන්ගේ අවසන් තරගයේ දී, ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩක කිලියන් එම්බප්පේ පෝලන්තයේ දකුණුපස-පිටුපස ක්‍රීඩක මැටි කෑෂ් සමග පන්දුව ලබාගැනීම සඳහා සටන් කරයි (ලෝරන්ස් ග්‍රිෆිත්ස්ගේ ඡායාරූපයකි)

ලෝරන්ස් ග්‍රිෆිත්ස්: මෙම තරගාවලියේ අපූරු ක්‍රීඩකයින් සිටිනවා, ඒ වගේම සියලු අවධානය සොරාගන්නා අන්දමේ ලෝක පාපන්දු ක්‍රීඩාවේ මෙගා තරු ද සිටිනවා. ප්‍රංශයේ එම්බප්පේ නිසැකවම ඊට අයත්. එදා රෑ සිත් ඇදගන්නාසුළු ගෝල දෙකක් වාර්තා කළ ඔහු එම රාත්‍රියේ තරු ක්‍රීඩකයා ද වුණු නිසා, ඔහුගේ දස්කම් සහ වේගය පෙන්වන ඡායාරූප ගැනීමට මට අවශ්‍යව තිබුණා. මම මේ ඡායාරූපය ලබාගත්තේ ඔහුගේ චලනයේ තානයට නිවැරදිව ගැලපෙන පරිදි මගේ කැමරාව හරවමින්, ඉතාම මන්දගාමී ෂටර වේගයක් භාවිතා කිරීමෙනුයි - එතරම් තියුණු සහ පැහැදිලිව හඳුනාගන්නා මුහුණක් ඡායාරූපගත කිරීමට එය එතරම් පහසු තාක්ෂණයක් නොවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Francois Nel/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 5: නේමාර්, 974 ක්‍රීඩාංගනයේ දී පිළිමළුන් පිටුදැකීමේ වටයේ සිය අවසන් ජයග්‍රහණයේ දී (4-1) දකුණු කොරියාවට එරෙහිව ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කිරීමෙන් පසු බ්‍රසීල ක්‍රීඩකයින් ජය සමරයි (ෆ්‍රොන්සුවා නෙල්ගේ ඡායාරූපයකි)

ෆ්‍රොන්සුවා නෙල්: බ්‍රසීලය ගෝල ලබාගත් විට විචිත්‍රවත් ලෙස සැමරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, එම සැමරුමෙන් විරුද්ධවාදීන්ට අගෞරවයක් වනබවට බොහෝ කතාබස් සිදුවුණා. නේමාර් තම කණ්ඩායමේ දෙවැනි ගෝලය දඬුවම් පහර ලබා ගන්නා ස්ථානයේ සිට ලබාගත් විට, මම දැනගත්තා විශේෂ සැමරුමක් ඡායාරූපගත කරන්න හැකිවේවි කියලා. ඉතින් මම ඔහු මා සිටි කොණ දෙසට දිව එන අයුරු දෙස උනන්දුවෙන් සිටියා. ඔහුගේ කණ්ඩායම් සගයින් පිරිසක් ගෝලය සැමරීම සඳහා ඔහු වෙත එනු මම එවිට දුටු නිසා, ක්‍රීඩකයින් සිව්දෙනාම රාමුවට හසුවන පරිදි මම කෙටි විශාලන (සූම්) කාචයකට මාරුවුණා.

ඡායාරූප මූලාශ්‍රය, Alex Grimm/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, මොරොක්කෝ ක්‍රීඩකයින් ස්පාඤ්ඤයට එරෙහිව එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු පිළිමළුන් පිටුදැකීමේ වටයේ අවසන් තරගයේ දී ඔවුන්ගේ දඬුවම් පහර ජයග්‍රහණය කිරීමෙන් පසු සමරයි (ඇලෙක්ස් ග්‍රිම්ගේ ඡායාරූපයකි)

ඇලෙක්ස් ග්‍රිම්: ලෝක කුසලානයේ විශේෂඥ ක්‍රීඩා ඡායාරූපශිල්පීන් විදියට, සැමවිටම ඡායාරූපයක් ගැනීමට පෙර ඒ සඳහා සැලසුම් කිරීමට ඔබට පුළුවන්. කෙසේ නමුත්, ඇඩ්රිනලින් ජවය ගෙන හැසිරෙනු ඇති ක්‍රීඩකයින් කවුද, අවිශ්වාසයෙන් හා කම්පනයෙන් යුතුව එකතැන 'ගල්වෙන' ක්‍රීඩකයින් කවුද කියන එක ගැන අනාවැකි කියන්න ඔබට බැහැ. මෙවැනි දුර්ලභ මොහොතවල දී, තත්පර කීපයකටවුවත්, පරිපූර්ණ ඡායාරූපයක් ලබාගැනීමට දක්වන උනන්දුව උද්යෝගය සහ දැඩි සතුට සමග මුහුවෙනවා - විශේෂයෙන්ම එතරම් කැපී නොපෙනෙන මොරොක්කෝව ස්පාඤ්ඤය පරදා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි පසුබිමක දී.

ඡායාරූප මූලාශ්‍රය, Patrick Smith - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 9: ආර්ජන්ටිනාවේ ගෝල රකින්නා වන එමිලියානෝ මාටිනෙස් ලුසේල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු ඔවුන්ගේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී නෙදර්ලන්තයේ පළමු දඬුවම් පහර රැකගනියි (පැට්‍රික් ස්මිත්ගේ ඡායාරූපයකි)

පැට්‍රික් ස්මිත්: නෙදර්ලන්තය හා ආර්ජන්ටිනාව අතර තරගය, තරගාවලියේ වඩාත්ම කැපී පෙනෙන තරගයන්ගෙන් එකක් වුණා. සිදුවීම්වලින් පිරුණු ඉතා තියුණු තරගයකින් පසුව එය දඬුවම් පහර වෙත යොමුවුණා. මේ මොහොත හසුකර ගත්තේ ගෝල පෝස්ටුවට පිටුපසින් පිහිටුවා තිබූ මගේ දුරස්ථ කැමරාවෙන් - අවසානයේ ආජන්ටිනාවේ ජයග්‍රහණය තහවුරු කිරීමට උපකාරී වූ පළමු ගෝල රැකීම යි මේ. දඬුවම් පහර එල්ල කිරීමේ අදියරේ වීරයා වූ මාටිනෙස්, නෙදර්ලන්ත නායක වර්ජිල් වැන් ඩයික්ගේ පහර විස්මිත ලෙස නවතමින් තානය සකස්කළා.

ඡායාරූප මූලාශ්‍රය, Shaun Botterill - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 9: ආර්ජන්ටිනාවේ ක්‍රීඩකයින්, අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා නෙදර්ලන්තයට එරෙහිව සිදුකළ දඬුවම් පහර එල්ල කිරීමේ ජයග්‍රහණය සමරමින් (ෂෝන් බොටරිල්ගේ ඡායාරූපයකි)

ෂෝන් බොටරිල්: මට මේ තරගය කැට්වෝක් වේදිකාව මත ඉඳන් ඡායාරූපගත කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි ෆීෆා තරගාවලි ආවරණය කිරීම සඳහා අපට ප්‍රවේශය ලබාදී තියෙන සුවිශේෂී ස්ථානය. එතන වාසිය තමයි, තණතීරුවේ ඔබ සිටින ස්ථානය ගැන නොසිතා, තරගය දෙස 'කුරුලු ඇසකින්' බැලීමට හැකිවීම. දඬුවම් පහර එල්ලවෙන අයුරු බලා ඉන්න ක්‍රීඩකයන්ගේ ඕනෑම ෂොට් එකක් විශිෂ්ට ඡායාරූපයක් වනු ඇති නමුත්, තරග ප්‍රතිඵල තීරණය වූ වහාම ආර්ජන්ටිනාවේ සැමරුම ග්‍රහණයකර ගැනීමට මට හැකි වුණා. මම මෙවන් ප්‍රතිචාරයක් අපේක්ෂා කළේ නැහැ, විශේෂයෙන්ම ඒක ආතතියෙන් පිරුණු තරගයක් වුණු නිසා. එනිසා, මගේ රැකියාවේ යම් වාසනාවකට මම හැමවිටම කෘතඥ වෙනවා.

ඡායාරූප මූලාශ්‍රය, Patrick Smith - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 10: පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අල් තුමාමා ක්‍රීඩාංගණයේ දී මොරොක්කෝව හමුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ගෝල 1-0ක් ලෙස ලැබූ පරාජය සඳහා ප්‍රතිචාර දක්වයි (පැට්‍රික් ස්මිත්ගේ ඡායාරූපයකි)

පැට්‍රික් ස්මිත්: මම කැට්වෝක් වේදිකාවේ වැඩ කරමින් සිටි සිටියේ. තරගය ඉවරවෙන්න මිනිත්තු 10කටත් වඩා අඩු කාලයක් තිබුණේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ පෘතුගාලය තරගාවලියෙන් පිටතට විසිවී යමින් සිටියා. මගේ අභිප්‍රාය වුණේ රොනාල්ඩෝගේ හැම මොහොතක් ගැනම අවධානයෙන් සිටීම යි. දෙවන භාගයේ දී ඔහු පිටියට පිවිසි විගස, සමහර විට ඔහු එක්කෝ පෙරළිකාර ගෝලයක් රැස් කරමින් තරගය යන අත වෙනස් කරන්නට, නැතහොත් ඔහුගේ අවසන් ලෝක කුසලානය වනු ඇති තරගාවලියෙන් ඉවතට විසිවීමට නියමිතව තිබුණා. මෙම පින්තූරයෙන් පෙන්වන්නේ තරගයේ අවසන් භාගයේ දී මඟහැරුණු අවස්ථාවක ප්‍රතිඵලයක්. එය පෘතුගාලයේ පරාජය සහ රොනාල්ඩෝගේ පුද්ගලික බලාපොරොත්තු සුන්වීම එකට කැටිකර පෙන්වනවා.

ඡායාරූප මූලාශ්‍රය, Alexander Hassenstein/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 10: මොරොක්කෝවේ සොෆියාන් බුෆාල්, පෘතුගාලය පරදවමින් අවසන් කණ්ඩායම් සතරට පැමිණීමේ ප්‍රීතිය සිය මව සමග සමරයි (ඇලෙක්සැන්ඩර් හැසන්ෂ්ටයින්ගේ ඡායාරූපයකි)

ඇලෙක්සැන්ඩර් හැසන්ෂ්ටයින්: මට මෙම තරගය සඳහා බංකුවලට කෙලින්ම ඉහළින් පිහිටි, මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙන්කර තිබූ ප්‍රදේශයේ ස්ථානයක සිට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍යයෙන්, අපි ස්ථානගත වෙන්නේ ක්‍රීඩා පිටියේ යි. එනිසා වෙනස් කෝණයක් ලබාගන්නට හැකිවීම සතුටක් වුණා - විශේෂයෙන් මොරොක්කෝවේ සොෆියාන් බුෆාල් ඔහුගේ මව සමග ජය සැමරීමට නර්තනයේ යෙදෙන මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා. බුෆාල්, ප්‍රේක්ෂකාගාරය අසල සිටි තමන්ගේ මව සොයාගෙන, ඇය පිටියට කැඳවාගෙන ගිහින්, ලෝකයටම පේන්න නටමින්, සමරමින් සිටීම ඉන්ද්‍රජාලික අවස්ථාවක් වුණා. ඒ දෙදෙනා ඉතා අලංකාර විදියට එක්ව නර්තනයේ යෙදෙන විට ඇතිවුණු විනෝදයට සහ වාතාවරණයට මම මුළුමනින්ම වශී වුණා - මේ මොහොත ඔවුන්ට මුළු ජීවිත කාලයටම මතක තිබේවි.

ඡායාරූප මූලාශ්‍රය, Richard Heathcote/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 10: අල් බයිත් ක්‍රීඩාංගනයේ දී අවසන් අටදෙනාගේ වටයෙන් 2-1ක් ලෙස එංගලන්තය පරාජය වූ තරගයේ දී, ප්‍රංශයට එරෙහි අවසන් දඬුවම් පහර කීපයෙන් එකක් හැරී කේන්ට මඟහැරිණි (රිචඩ් හීත්කෝට්ගේ ඡායාරූපයකි)

රිචඩ් හීත්කෝට්: මෙම පින්තූරයෙන්, එංගලන්තයේ ලෝක කුසලාන ගමනේ තීරණාත්මක අවස්ථාව ග්‍රහණය කරගෙන තිබෙනවා. එය ග්‍රහණය කර ගත්තේ ගෝල කණුවේ ඉහළ කෙළවරේ ඉහළින් සවිකර තිබූ කුඩා කැමරාවකින් - එය විශාල වාසනාවක් සහ විශේෂයෙන් තැනවූ උපකරණ කිහිපයක් අවශ්‍ය වන අද්විතීය ස්ථානයක්. ගෝල් පෝස්ටුව ඉදිරියේ සිදුවන දේ නව කෝණයකින් ආවරණය වන විදියට, අපගේ ආවරණ කලාපය වැඩි දියුණු කරමින් එක් එක් ගෝල් පෝස්ටුව පිටුපස දුරස්ථ කැමරා දෙකක් සහ එය ඇතුළත නෙට් කැමරා සවිකිරීමට අපට හැකිවුණා. ඒවා තරගය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර පිහිටුවන අතර, ගෝලයකින් හෝ දැල සොලවෙන ඕනෑම දෙයකින් ඒවායේ සමතුලිතතාව නැතිවෙන්නට පුළුවන්. ඉතින්, පළමු දඬුවම් පහරින් පසුව ද ඒවා ඒ ඒ තැන්වලම තිබීම වාසනාවක් වුණා. දැල හරස් නොවී මෙවන් මොහොතක් දැකීමේ හැකියාව නිසා නරඹන්නා තුළ තරගය කෙරෙහි උනන්දුව ඇතිකරවනවා - හරියට නරඹන්නා දැල පිටුපස සිටින දෙවන ගෝල රකින්නා මෙන් දැනෙන්නට සැලැස්වීමෙන්.

ඡායාරූප මූලාශ්‍රය, Dan Mullan/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 13: ලුසේල් ක්‍රීඩාංගනයේ දී ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය කළ අවසන් පූර්ව තරගයේ දී හූලියන් අල්වරේස් ආර්ජන්ටිනාවේ දෙවන ගෝලය වාර්තා කරයි (ඩෑන් මලන්ගේ ඡායාරූපයකි)

ඩෑන් මලන්: මේ තරගය සඳහා ක්‍රීඩාංගනයේ කැට්වෝක් වේදිකාව මත, ආලෝකකරණ යන්ත්‍ර අතර සිට තණතීරුව දෙස බලා සිටින්නට තරම් මම වාසනාවන්ත වුණා. තණතීරුව පසෙක ස්ථානවල සිට ලබාගන්නා සාම්ප්‍රදායික කෝණවලට වඩා වෙනස් යමක් ගෙනඒම සඳහා, මෙම තරගාවලියේ දී අපි වෙහෙස මහන්සිවී භාවිතා කළ සුවිශේෂී කෝණයක් ඒ. තණතීරුවට ඉහළින් ඔබේ ස්ථානය තෝරාගන්න ඔබට වැඩි නිදහසක් ලැබෙනවා. ඔබ ග්‍රහණයකර ගන්න කැමති කුමන විදියේ පින්තූරයක් ද කියන එක කල් ඇතිව සිතා බලන්න එය ඔබට ඉඩ ලබාදෙනවා. පළමු අර්ධයේ දී ආර්ජන්ටිනාව ගෝලයක් වාර්තා කළහොත් කියලා මා ක්‍රොඒෂියා ගෝලයට කෙළින්ම ඉහළින් ස්ථානගතවී සිටියා. වාසනාවකට මෙන් ඔවුන් එය කළා. මෙම රූපයේ විශේෂත්වය වෙන්නේ සිරුරුවල හැඩය - අල්වරේස්ගේ සම්පූර්ණයෙන් දිගුවූ පාදය ඉදිරියෙන් එන ගෝල රකින්නා මඟහරිමින් පන්දුවට පහර දෙන අතරේ, එය වැලැක්වීමට අපොහොසත් වූ බෝර්නා සෝසා බිම වැතිර සිටිනනවා.

ඡායාරූප මූලාශ්‍රය, Michael Regan - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 14: ප්‍රංශයේ කිලියන් එම්බප්පේ, පැරීස් සේන්-ජර්මාන් කණ්ඩායමේ සගයා වන අෂ්රෆ් හකීමී සමග කමිස හුවමාරුකර ගැනීමෙන් පසු මොරොක්කෝවට එරෙහි 2-0ක් ලෙස වාර්තා කළ අවසන් පූර්ව තරග ජය සමරයි (මයිකල් රේගන්ගේ ඡායාරූපයකි)

මයිකල් රේගන්: මේ ලෝක කුසලානයේ දී, ගෙටී ඉමේජස්හට තරගයෙන් පසු තණතීරුවට සෘජු ප්‍රවේශය ලැබුණා. ඡායාරූප ශිල්පීන් වන අපි චිත්තවේගයන් උපරිම ලෙස පවතින අවස්ථාවේ දී ක්‍රීඩකයන්ගේ ප්‍රතිචාර ග්‍රහණයකර ගැනීමට උත්සාහ කරනවා; මෙවැනි ඡායාරූප මඟින් කැමරා කාචය හරහා රසිකයින් සමග සෘජුව සම්බන්ධ වෙන්නට ක්‍රීඩකයින්ට ඉඩ සලසනවා. එම්බප්පේ විශිෂ්ට පින්තූරයක් ලබාදෙන බව මම දැන සිටියා - මම කළේ "යේ..ඒ..ඒ..ස් කිලිය...අ..අ..න්!" කියලා කෑගහලා ඔහුගේ අවධානය ගන්නා එක යි. ඒ උපක්‍රමය හරිගියා, මොකද ඔහු මගේ කාචයට හරියටම පහළින් ජය සැමරීමෙන් මට පරිපූර්ණ පින්තූරයක් ලබාදුන්නා. ඔහු පැරීස් සේන්-ජර්මාන් කණ්ඩායමේ ඔහුගේ සගයා වන අෂ්රෆ් හකීමීගේ මොරොක්කෝ කමිසය ඇඳ සිටි එක නියමෙට වැඩකළා. මට නම්, මේ දර්ශනය අවසන් තරගයට කලින් ගොඩනැගෙන උද්යෝගය කැටිකර පෙන්වනවා.

ඡායාරූප මූලාශ්‍රය, Matthias Hangst/ GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 18: ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ලුසේල් ක්‍රීඩාංගනයේ දී ප්‍රංශයට එරෙහිව ෆිෆා ලෝක කුසලාන අවසන් ජයග්‍රහණය ලැබීමෙන් පසු, කුසලාන පිරිනැමීමේ වේදිකාව වෙත ඇවිද යයි (මතායස් හේන්ග්ස්ට්ගේ ඡායාරූපයකි)

මතායස් හේන්ග්ස්ට්: මොන විදියේ අවසානයක් ද! මෙසී තවත් විස්මිත ක්‍රීඩාවකින් ආර්ජන්ටිනාව ලෝක කීර්තිය කරා ගෙනගියා. මෙම රූපයෙන් ලයනල් මෙසී වෙත පූර්ණ අවධානය යොමු කරන අතර, ලෝක කුසලානය ලබාගැනීම සඳහා වේදිකාවට යාමට මොහොතකට පෙර ඔහු අවධානයේ කේන්ද්‍රයබවට පත්කරනවා. ලෝකයේ විශිෂ්ඨතම ක්‍රීඩකයාගේ මේ අද්විතීය කෝණය ලබාගන්නට මම ක්‍රීඩාංගනයේ වහලයේ පිහිටි කැට්වෝක් වේදිකාවේ සුවිශේෂී ස්ථානයක ස්ථානගත වුණා.

ඡායාරූප මූලාශ්‍රය, David Ramos - FIFA/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙසැම්බර් 18: ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී ලුසේල් ක්‍රීඩාංගනයේ දී ප්‍රංශයට එරෙහිව සිය කණ්ඩායම ලැබූ ජයග්‍රහණයෙන් පසු ලෝක කුසලානය සමග සමරයි (ඩේවිඩ් රාමොස්ගේ ඡායාරූපයකි)

ඩේවිඩ් රාමොස්: සෙර්ජියෝ අගුවෙරෝගේ උරහිස මත සිටින ලයනල් මෙසීගේ මේ රූපය, 1986 දී ආර්ජන්ටිනාවේ මැරඩෝනා මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ දී ලෝක කුසලානය ඉහළට ඔසවා තැබූ දර්ශන සිහිපත් කරනවා. පිරිස හරස් බටයක් යටින් යද්දී මෙසීට ඔහුගේ හිස එහි වැදීමෙන් වැළකීමට සිදුවූ නිසා එය හාස්‍යජනක මොහොතක් වුණා!

සියලුම ඡායාරූප ප්‍රකාශන හිමිකම්වලට යටත් ය.