පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාවට පදක්කම් හයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ හය වැනි පදක්කම තහවුරු කර ගැනීමට බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර සමත් විය.

කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට ඔහු සමත් වුණි. බොක්සිං ක්‍රීඩාවේදී රන්, රිදී සහ ලෝකඩ පදක්‌කම් දෙකක්‌ පිරිනැමෙන අතර ඒ අනුව අවම වශයෙන් ඉශාන් බණ්ඩාරට ලෝකඩ පදක්කමක් හිමිවීමට නියමිතය.

ලබන අප්‍රේල් 13 වෙනි දින ඉශාන් බණ්ඩාර ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි සමග අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.

මේ අතර අඟහරුවාදා (අප්‍රේල් 10) දින කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් පදක්කමක් තහවුරු කර ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිවංක රණසිංහ සමත් විය. අප්‍රේල් 13 වෙනි දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.32ට එංගලන්තයේ ගාලාල් රෆායි සමග ඔහු අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනුෂා කොඩිතුවක්කු ඉන්දියාවේ මේරි කොම් අතින් පරාජයට පත් විය.

බදාදා (අප්‍රේල් 11) උදෑසන කාන්තා බොක්සිං අවසන් පූර්ව තරගය පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු ඉන්දියාවේ මේරි කොම් අතින් පරාජයට පත් විය. කෙසේ වෙතත් ඇයට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය.

ඒ අනුව අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී බොක්සිං පදක්කමක් දිනාගත් පළමු කාන්තා ක්‍රීඩිකාව බවට පත් වූවාය.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් පදකක්ම් තුනක් තහවුරු වී තිබෙන අතර, බර ඉසිලීමේ ඉසව්වලින් පදක්කම් තුනක් ජයග්‍රහණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක

මෙය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාව ලබාගත් වැඩිම පදක්කම් ගණන ලෙසද සැළකේ.

බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කම් දිනා ගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය හා දිනූෂා ගෝමස් බදාදා උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන්තොටුපලේ දී ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් කටයුතු කර තිබේ.

තවත් තොරතුරු: