පාකිස්තාන් අගමැතිගේ වත්කම් ගැන අධිකරණ පරීක්ෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති නවාස් ෂරීෆ්

පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළඹුණේ මෙතරම් දේපොළ රැස් කළේ කෙසේද යන්න හෙළිකිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි.

අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය.

එහෙත් අගමැතිවරයා එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

ලන්ඩනයේ නිවාස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය මරියම් නවාස්ට ද දූෂණ චෝදනා එල්ල වේ

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

කෙසේ නමුත් එම චෝදනාව දැන් ඔහුට බරපතළ අභියෝගයක් බවට පත්වෙමින් තිබේ.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට බලකරමින් සිටිති.

විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ එය "චෝදනා සහ උපකල්පනවලින්" සමන්විත වූවක් බවය.

විමර්ශන වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය අප්‍රේල් මාසයේ පත් කරන ලද ඒකාබද්ධ විමර්ශන කණ්ඩායම විසින් ජුලි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව

තවදුරටත් බලයේ සිටීමට අගමැතිවරයා ගත් තීන්දුවට පසුගිය සතියේ දී ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ සහාය හිමි විය.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය වටා ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් යොදවා ඇති අතර එහි ඇතැම් කොටස් කටුකම්බි යොදා ආවරණය කරනු ලැබ තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ පත් කරන ලද ඒකාබද්ධ විමර්ශන කණ්ඩායම කියා සිටියේ අගමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව පවතින සහ ප්‍රකාශිත ආදායම්/වත්කම් අතර සැලකිය යුතු නොගැළපීමක් තිබෙන බවය.