ක්‍රිකට්: නායකත්වයේ වෙනසක් අවශ්‍යද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායක මැතිව්ස් නිසි පරිදි සිය වගකීම ඉටුනොකළේය යන්න ඇතැම් ක්‍රීඩාලෝලීන්ගේ මතය වී තිබේ

දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජයට පත්වීම හේතුවෙන් කණ්ඩායම සහ ක්‍රීඩා බලධාරීන් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

විශේෂයෙන්ම කණ්ඩායම අසීරු තත්වයකට මුහුණ දුන් අවස්ථාවක නිසි නායකත්වයක් ලබාදීමට අපොහොසත් වූ බවට නායක ඇන්ජලෝ මැතිව්ස්ටද සමාජ ජාල ඔස්සේ විවේචන එල්ලවෙමින් පවතී.

කෙසේ නමුත් නවක ක්‍රීඩකයන් බහුතරයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී මුහුණදීමට සිදු වූයේ හාත්පසින්ම වෙනස් තණතිලිවල බැවින් කණ්ඩායමේ පරාජය පිළිබඳව 'කම්පා විය යුතු නැති' බව දකුණු අප්‍රිකාවේ සිට සංචාරය වාර්තා කරන ඩේලි මිරර් මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු බීබීසී සංදේශයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 118 කින් පරාජයක් අත්විය

තණකොළ ගහන තණතිලිවල තරග ජයග්‍රහණය කිරීම ඉතාම දුෂ්කර වුවත්, කණ්ඩායම මෙහෙයවීමේදී සහ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකිරීමට අපොහොසත්වීම හමුවේ නායක මැතිව්ස් නිසි පරිදි සිය වගකීම ඉටුනොකළේය යන්න ක්‍රීඩාලෝලීන්ගේ මතය වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් සියලු දෙනා නායකයාට සහාය දෙමින් එකමුතුව ක්‍රීඩා කළ බවත් චම්පික ප්‍රනාන්දු සඳහන් කළේ කණ්ඩායමේ කිසියම් බෙදීමක් තිබුණේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

තුන්වැනි ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 118 කින් පරාජය වීම සිය නායකත්වය යටතේ ලැබූ දරුණුම පරාජය බව නායක ඇන්ජලෝ මැතිව්ස්ද තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් දින සහ විස්සයි විස්ස කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා තෝරා නොගත්තේ ඇයි?

මේ අතර ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමග විස්සයි විස්ස තරගාවලියට නම් නොකිරීමද ක්‍රීඩාලෝලීන්ගේ විවේචනයට ලක් වී තිබේ.

බොහෝ දෙනාට එය 'ප්‍රහේලිකාවක්' බව පවසන ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා එක් දින සහ විස්සයි විස්ස විස්ස කණ්ඩායමට ඇතුලත් විය යුතුව තිබුණේය යන්න සිය විශ්වාසය බව වැඩිදුරටත් පැවසීය.