මියගිය ක්‍රීඩකයාට උපහාර පුදමින් රියෝ පැරාලිම්පික් උළෙල නිමාවේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පාපැදි තරඟයක් අතරවාරයේ බහ්මාන් ගොල්බර්නෙසාඩ් හදිසි අනතුරකින් මරණයට පත්විය

රියෝ ද ජැනෙයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගනයේ පැවති අති උත්කර්ශවත් සමාප්ති උළෙලකින් අනතුරුව 2016 පැරාලිම්පික් උළෙල ඉරිදා රාත්‍රියේ නිමාවට පත්විය.

උළෙල අතරවාරයේ මරණයට පත් වූ ඉරාන ජාතික ක්‍රීඩක බහ්මාන් ගොල්බර්නෙසාඩ්ට උපහාරය පලකිරීමට ප්‍රථම ගායක ගායිකාවන් සහ නර්තන ශිල්පීන් ක්‍රීඩාලෝලීන් පිනවද්දී, මල් වෙඩි සංදර්ශනවලින් ක්‍රීඩාංගනය වර්ණවත් කෙරිණ.

සමස්ත පැරාලිම්පික් ව්‍යාපාරයම 'ශෝකයෙන් එකමුතු වූ' බවයි, ක්‍රීඩකයාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුවේ සභාපති ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන් කියා සිටියේ.

රියෝ උළෙලේ සාර්ථකත්වයද ඔහුගේ ප්‍රශංසාවට ලක්විය.

රන් පදක්කම් 107 ක් ඇතුළු පදක්කම් 239 ක් දිනාගනිමින් උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට චීනය සමත් වූ අතර, රන් පදක්කම් 64ක් ඇතුළුව පදක්කම් 147 ක් දිනාගත් බ්‍රිතාන්‍යය දෙවන ස්ථානයට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ වොලිබෝල් කණ්ඩායම සිය රන් පදක්කම මියගිය සහෝදර ක්‍රීඩකයාට පුද කළහ

ආබාධිත ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනි වතාවට පැරාලිම්පික් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවත් සමත්විය. ආබාධිත සෙබල දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසිකිරීමෙන් දිනාගත් ලෝකඩ පදක්කමයි, ඒ.

රියෝ උළෙලේ සංවිධායකයන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩාලෝලීන්ටත් සිය ප්‍රණාමය පුද කළ ශ්‍රීමත් ෆිලිප් ක්‍රෙවන්, 2020 පැරාලිම්පික් උළෙල පැවැත්වෙන තෝකියෝ නගරයට පැරාලිම්පික් ධජය භාරදුන්නේය.

ඔහු සමඟ එක් වේදිකාවක සිට බ්‍රසීලය සිය වගකීම සාර්ථකව නිමා කළ බව රියෝ උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධානී කාර්ලොස් නුස්මන් නිවේදනය කළේ මරකානා ක්‍රීඩාංගනයට රැස්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ.

"කළ නොහැකියි කී දේ අපි ඉටු කළා. බ්‍රසීලය කිසි දිනක උත්සාහය අත්හරින්නේ නැහැ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංගීතඥ ජොනතා බස්තොස් සමාප්ති උළෙල වර්ණවත් කළේ සිය පාදයෙන් ගිටාරයක් වාදනය කරමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩා 22 ක් 20202 තෝකියෝ උලෙලට ඇතුලත් වන අතර, ටයිකොන්ඩෝ ක්‍රීඩාව පළමුවරට පැරාලිම්පික් උළෙලට එක්වේ