වාඩි වී මුත්‍රා කිරීම පිරිමින්ගේ සෞඛ්‍යයට යහපත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ෆර්නැන්ඩෝ ඩුආර්ටේ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඉඳගෙන මුත්‍රා කරනවා ද? හිටගෙන මුත්‍රා කරනවා ද? එය පිරිමින් මුත්‍රා කිරීම සඳහා වැසිකිළියකට ගිය විට ඇති මුහුණ දෙන ප්‍රශ්නයකි.

වාඩි වී මුත්‍රා කිරීම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට ස්ථිර වෛද්‍ය සාක්ෂි නොමැති වුව ද, එය වඩාත් ම සනීපාරක්ෂක ක්‍රමය බවට පොදු එකඟතාවක් ඇත.

"මුත්‍රා කිරීමට හරි හෝ වැරදි ක්‍රමයක් නැහැ, ඒක එක එක පුද්ගලයා මත රඳා පවතිනවා," එක්සත් රාජධානියේ මෞත්‍ර විද්‍යා පදනමේ සභාපති, වෛද්‍ය මේරි ගාර්ත්වයිට් බීබීසීයට පවසයි.

"ඒත්, වැසිකිළි පිරිසිදු නම් වාඩි වී මුත්‍රා කිරීම ඇත්තට ම වඩාත් සනීපාරක්ෂක ක්‍රමය යි."

සංචලනය හෝ සමබරතාව පිළිබඳ ගැටලු ඇති පුද්ගලයින්ට සහ රාත්‍රියේ, අඩ නින්දෙන් වැසිකිළියට යන අයට වාඩි වී සිටීම ආරක්ෂිත විය හැකි බව වෛද්‍ය ගාර්ත්වේට් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඔබේ දත් බුරුසුව වැසිකිළියට ඉතා ආසන්නව නොතිබුණත්, පිරිමින් සිටගෙන මුත්‍රා කරන විට එය කුඩා මුත්‍රා අංශු වලට නිරාවරණය විය හැකි බව ය

මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස උපුටා දක්වන ලද අධ්‍යයනයක් වන්නේ නෙදර්ලන්තයේ ලයිඩ්න් විශ්වවිද්‍යාලයේ 2014 පර්යේෂණ ව්‍යාපෘතියකි. එහිදී වෛද්‍ය කණ්ඩායමක් ශරීරයේ විවිධ ඉරියව් මුත්‍රා ප්‍රවාහයට බලපාන ආකාරය සහ මුත්‍රාශය හිස් වන වේගය අධ්‍යයනය කළහ.

පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමේ තත්ත්වයෙන් පෙළෙන පිරිමින් තුළ මුත්‍රාශය වේගයෙන් හා සම්පූර්ණයෙන් ම හිස් වීමට වාඩි වී සිටීමෙන් ඉඩ සැලසෙන බව ඔවුන් නිගමනය කළ නමුත්, නිරෝගී පිරිමින් තුළ "වෙනසක්" නොපෙනිණි.

ප්‍රායෝගිකව බැලුවහොත්, බොහෝ පිරිමින්ට සිටගෙන මුත්‍රා කිරීම ඉතා ප්‍රායෝගික වන අතර, එය කාන්තාවන් හා සසඳන විට පොදු වැසිකිළිවල පිරිමින්ගේ පෝලිම් කෙතරම් ඉක්මනින් චලනය වේ ද යන්නෙන් පැහැදිලි වේ. සිටගෙන මුත්‍රා කිරීමෙන් වැසිකිළියේ මුත්‍රා වැගිරීමට ඉඩ ඇති අතර, වැසිකිළිය භාවිත කරන සෙසු පුද්ගලයින් එයට කැමති නොවනු ඇත.

අප කතා කරන්නේ වැසිකිළි ආසනයට හෝ බිමට ඉලක්කය වැරදී මුත්‍රා කිරීම පමණක් නොවේ. 2013 දී ඇමෙරිකානු යාන්ත්‍රික ඉංජිනේරුවන් කණ්ඩායමක් සොයා ගත්තේ ක්ෂුද්‍ර ජල බිඳිති "ඉතා විශාල කෝණවලින් සහ දුරින් විසිරී ගිය" බව ය. එනම් දත් බුරුසු ඇතුළු අසල ඇති වස්තූන් මුත්‍රාවලින් වැසී යන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ රටවල පිරිමි තවමත් හිටගෙන මුත්‍රා කිරීමට කැමැත්තක් දක්වති
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇතැම් සංස්කෘතීන් පිරිමින්ට මුත්‍රා කරන විට වාඩි වීමට දිරිගන්වයි. උදාහරණයක් ලෙස ඉස්ලාමයේ, මුත්‍රා කරන අතරතුර වාඩි වී සිටීම, මුහම්මද් නබිතුමාගේ පිළිවෙත් සහ සම්ප්‍රදායන් වන සුන්නාවේ කොටසක් ලෙස නිර්දේශ කෙරේ. නමුත් බොහෝ පිරිමින්ට, දිගුකාලීන පුරුදු දිගට ම පවතින අතර, ඔවුන් සාමාන්‍යයෙන් මුත්‍රා කරන්නේ හිටගෙන ය.

2023 දී, YouGov විසින් රටවල් 13ක පිරිමින් තම මුත්‍රාශය හිස් කිරීමට කැමති ක්‍රමය පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන ලදී.

එක ම මහාද්වීපය තුළ පවා සැලකිය යුතු වෙනසක් YouGov විසින් සොයා ගන්නා ලදී: ජර්මානු පිරිමින්ගෙන් 40% ක් සෑම විට ම වාඩි වී සිටින බවත්, 10% ක් පමණක් සෑම විට ම සිටගෙන සිටින බවත් පැවසූ අතර, එක්සත් රාජධානියේ එම සංඛ්‍යා පිළිවෙලින් 9%ක් සහ 33%කි.

සිත්ගන්නා කරුණ නම්, ජර්මනියේ මුත්‍රා කිරීමට වාඩි වී සිටීම වඩාත් සුලභ වීම ය. නමුත් පිරිමියෙකු මුත්‍රා කිරීමට වාඩි වී සිටින කෙනෙකු ලෙස හැඳින්වීම පුරුෂාධිපත්‍යයට පටහැනි යැයි සැලකේ. බ්‍රසීලයේ, පැරණි කියමනක ඇත්තේ වාඩි වී මුත්‍රා කිරීම "කාන්තාවන්ට සහ ගෙම්බන්ට සුදුසු යි," යනුවෙන් ය.

සමහරවිට පිරිමින්ට මුත්‍රා කරන ආකාරය වෙනස් කිරීම සඳහා උපතින්ම ලැබී ඇති සහජ ගතිගුණ වෙනස් කර ගැනීමට සිදු විය හැකි ය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිණාමීය මනෝවිද්‍යාවේ ප්‍රධාන විද්වතෙකු වන ආචාර්ය රොබට් ඩන්බාර්ට අනුව එසේ නොවේ.

"පිරිමින් සිටගෙන මුත්‍රා කරන්නේ ඇයි ද යන්නට [පරිණාමීය] සාක්ෂි නෑ," ඔහු පවසයි.

වාඩි වී සිටීමේ අදහසට අකමැති පිරිමින්ට නිදහසට කරුණක් තිබිය හැකි ය.

"සත්‍යය නම් සමහර පිරිමින්ට සිටගෙන මුත්‍රා කිරීම වඩාත් පහසු යි කියලා හිතන අතරේ අනෙක් අය වාඩි වී සිටීමට කැමැත්තක් දක්වනවා," වෛද්‍ය ගාර්ත්වයිට් තවදුරටත් පවසයි.

ඔවුන් දන්නා කාන්තාවන්ගේ ඉල්ලීම් හෝ සමාජ පීඩනයන් හෝ වැසිකිළිවල ඇති දැන්වීම් (තවත් ජර්මානු ක්‍රමයක්) වැනි දේවල් නිසා වාඩි වී මුත්‍රා කිරීම දිරිමත් වුවහොත් මිස, නිශ්චිත වෛද්‍ය උපදෙසක් නොමැති නිසා මුත්‍රා කරන්නේ කුමනාකාරයෙන් ද? යන්න තෝරා ගැනීම ලොව පුරා පිරිමින්ගේ තෝරා ගැනීමක් ලෙස පවතිනු ඇත.

නමුත් ඔබ සිටගෙන මුත්‍රා කරන්නේ නම් අවම වශයෙන් එය හරියට ම ඉලක්ක කර සිදු කිරීමට වග බලාගන්න.