ඊශ්‍රායල ගාසා යුද්ධය: හමාස් සටන්කාමීන් භාවිත කරන අවි හතරක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-කසාම් බළකාය යනු පලස්තීන හමාස් ව්‍යාපාරයේ හමුදා අංශය යි

හමාස් සටන්කාමී කණ්ඩායම ඊශ්‍රායලයට එරෙහි යුද්ධයේ දී දියුණු අවි භාවිතා කරන බවට බීබීසී අරාබි සේවය කළ වෝහාරික පරීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

හමුදා විශේෂඥයින් පවසන්නේ, ඔවුන් භාවිත කරන ඇතැම් ආයුධ පෙර ප්‍රහාරවලට සාපේක්ෂව මාරාන්තික වන ලෙස වෙනස් කර ඇති බව ය.

2023 ඔක්තෝබර් 7 වන දින, හමාස් සටන්කාමීන් පෙර නොවූ විරූ ප්‍රහාරයක්‌ එල්ල කරමින් ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙත කඩා වැදුණු අතර, ඒ සඳහා රොකට් සහ මිසයිල සිය ගණනක්, පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා සහ හෙළි නොකළ කුඩා පරිමාණයේ අවි සහ පතරොම් ගණනාවක් භාවිත කර තිබිණි.

ඔවුහු ඊශ්‍රායල ජාතිකයින් 1,200ක් මරා දැමූ අතර ප්‍රාණ ඇපකරුවන් 240කට වැඩි පිරිසක් ගාසා තීරය වෙත ගෙනගියහ. එතැන් සිට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර සහ ගාසා තීරය වෙත සිදු කළ ගොඩබිම් ආක්‍රමණයෙන් පලස්තීනුවෝ 23,000කට වැඩි පිරිසක් මියගියහ.

හමාස් සංවිධානය සහ එහි හමුදා අංශය වන අල්-කසම් බලකාය විසින් භාවිතා කරන ලද ආයුධ හතරක් බීබීසී අරාබි සේවය හඳුනාගෙන ඇති අතර, ඔවුන් විසින් ඒවායේ හැකියාවන් සහ එම අවි සඳහා කොටස් ලබා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරනු ලැබ ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති වුව ද, එය හමාස් සටන්කාමීන් 8,000ක් ඝාතනය කළ බව පවසයි. එක්සත් රාජධානිය සහ බොහෝ බටහිර රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ ඇති හමාස් සංවිධානය මෙම ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වා නොමැත. ඊශ්‍රායලය පවසන්නේ, ගාසා තීරයේ දී මේ වන විට සිය භටයින් 187 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

1. 'යසීන් 105' යුද්ධ ටැංකි නාශක මිසයිල

යසීන් මිමී 105 (Yasin 105mm) යුද්ධ ටැංකි නාශක මිසයිල, ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයේ ආරම්භයේ සිට ඊශ්‍රායල මෙර්කවා යුද්ධ ටැංකි ඉලක්ක කරන අයුරු අල්-කසාම් බළකාය විසින් මුදා හරින ලද විවිධ වීඩියෝවල අන්තර්ගත වී ඇත.

මෙම මිසයිලය හමාස් ව්‍යාපාරයේ නිර්මාතෘ වන මිය ගිය ෂෙයික් අහමඩ් යසීන්ගේ නමින් නම් කර ඇති අතර, රුසියාවේ නිෂ්පාදිත ආර්පීජී (RPG/rocket-propelled grenade) ලෝන්චරයකින් එල්ල කරනු ලබයි.

ඡායාරූප මූලාශ්‍රය, Al-Qassam Brigades

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම අල්-කසාම් බළකායේ වීඩියෝවෙන්, 2023 ඔක්තෝම්බර් මාසයේ දී ගාසා තීරයේ දී යසීන් 105 මිසයිලයක් භාවිතා කරනු එහි පෙන්වන බව පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊජිප්තු හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් ජෙනරල් සමීර් රාගෙබ් පවසන්නේ, යසීන් 105 යුධශීර්ෂ ද්විත්වයක් (dual warhead) සහිතව නිපදවීම වැදගත් නවෝත්පාදනයක් බව ය.

ඉන් නිකුත් වන පළමු මිසයිලය යුද්ධ ටැංකියේ සන්නාහය ඉලක්ක කර අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඒ තුළට ඇතුළුවීමට ඉඩ සලසන අතර, දෙවන මිසයිලය ටැංකිය තුළට සම්පූර්ණයෙන් ම ඇතුළු වී එය පුපුරවා හරින බව ඔහු පවසයි.

හිටපු බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි නිලධාරියෙකු වන ෆිලිප් ඉන්ග්‍රම් පවසන්නේ, මිසයිලය මීටර් 150ත් 500ත් අතර පරාසයක, තත්පරයට මීටර් 300ක වේගයකින් සාර්ථක ලෙස ඉලක්කයක් වෙත එල්ල කළ හැකි බව ය.

මෙවැනි යුධ ශීර්ෂ ද්විත්වයක් ඇති අවියක් නිර්මාණය සඳහා අවශ්‍ය නිරවද්‍යතාව මඟින්, හමාස් සංවිධානයේ උසස් ආයුධ නිෂ්පාදන හැකියාවන් පෙන්නුම් කරන බව ද ඔහු පවසයි.

එල්ල වන මිසයිල විනාශ කිරීමේ පද්ධතියක් ඊශ්‍රායල යුද්ධ ටැංකි සතු බව ඔහු තවදුරටත් පවසයි.

නමුත් යසීන් මිසයිල සම්බන්ධයෙන් ගත්කල ඊශ්‍රායලයේ මෙම පද්ධතියට එම කාර්යය සංකීර්ණ වී ඇති බවට ප්‍රවෘත්ති වාර්තා පළ වී තිබේ. බීබීසීයට මෙය සත්‍යාපනය කිරීමට නොහැකි වී ඇත.

හමාස් සටන්කාමීන් සතුව අවම වශයෙන් යසීන් 105 මිසයිල 2,000ක සැලකිය යුතු තොගයක් ඇති බවට හමුදා විශේෂඥයින් ගණන් බලා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Al-Qassam Brigades

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 ඔක්තෝම්බර් මාසයේ දී නිකුත් කරන ලද අල්-කසාම් වීඩියෝවක් එහි යසීන් 105 මිසයිල තොගය පෙන්වයි

2. අල් අසෙෆ් ටෝර්පිඩෝව

ඔක්තෝබර් මස අගදී හමාස් සංවිධානය විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයක, ඔවුන් 'අල් අසෙෆ්' ටෝර්පිඩෝව නම් නව ආයුධයක් ප්‍රදර්ශනය කළ අතර, එය ඔවුන් ඔක්තෝබර් 7 ප්‍රහාරයේ දී භාවිත කළ බව පැවසීය.

මෙම වීඩියෝව මීට පෙර අන්තර්ජාලයේ පළ නොවූවක් බව බීබීසී අරාබි ප්‍රවෘත්ති සේවය තහවුරු කර ඇත.

විශේෂඥයන් පවසන්නේ, මෙම අවිය මිනිසුන් රහිත හෝ දූරස්ථව ක්‍රියාත්මක වන දිය යට භාවිත කළ හැකි යානයක් වන අතර, දිය යට මෙහෙයුම් සඳහා නිර්මාණය කර ඇති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Al-Qassam Brigades

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-කසාම් බළකාය විසින් 2023 ඔක්තෝම්බර් මාසයේ දී 'අල් අසෙෆ්' ටෝර්පිඩෝව පෙන්වන මෙම වීඩියෝව ප්‍රකාශයට පත් කළේ ය

ඊජිප්තු හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානියෙකු වන යසර් හෂේම් මෙම ආයුධය විස්තර කරන්නේ, "කාර්යය මණ්ඩලයක් නොමැති, සරල, අර්ධ ලෙස දියේ ගිල්විය හැකි යානයක්" ලෙස ය.

සිතියම්ගත කිරීම, ඔත්තු බැලීම, ජලයෙන් යට වී ඇති ව්‍යුහයන් පරීක්ෂා කිරීම, පාරිසරික නිරීක්ෂණ සහ සටන් මෙහෙයුම් ඇතුළු විවිධ ආකාරයේ දිය යට කාර්යයන් සිදු කිරීම සඳහා එය සතුව ඇති බහුකාර්ය හැකියාව ඔහු ඉස්මතු කරයි.

බ්‍රිගේඩියර් ජෙනරල් රාගෙබ් පවසන්නේ, මෙම ආයුධය ගාසා තීරයේ නිපදවා ඇති අතර එහි සංරචක වන සම්පීඩිත ගෑස් සිලින්ඩරය, අභ්‍යන්තර දහන එන්ජිම, කැමරාව සහ මාර්ගෝපදේශක ඇන්ටනා ආදිය තහනම් නොවන නිෂ්පාදන සහ ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍යවලින් ලබා ගත හැකි බව ය.

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රවලින් සමන්විත කම්හල්වලට මෙම ආයුධ සෑදිය හැකි බව ඔහු තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Al-Qassam Brigades

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-කසාම් සටන්කාමීන් හතරදෙනෙකු 'අල් අසෙෆ්' ටෝර්පිඩෝව මුහුදට රැගෙන යන අයුරු වීඩියෝවේ දැක්වේ

හමාස් වීඩියෝ පටයේ 'අල් අසෙෆ්' ටෝර්පිඩෝව ප්‍රදර්ශනය කළ ද, එහි සඵලතාව සම්බන්ධයෙන් ඇත්තේ සීමිත සාක්ෂි ගණනකි.

ඔක්තෝබර් 7 වන දින එහි භාවිතය පිළිබඳ ප්‍රකාශ තිබුණ ද ඉන් ඔබ්බට එය භාවිත කළ බව තහවුරු කිරීමට බීබීසී අරාබි සේවයට හැකි වී නොමැත. එමෙන් ම, ඉන් ඊශ්‍රායල යාත්‍රාවලට හානි වූ බවට කිසිදු සාක්ෂියක් හෝ තහවුරු කිරීමක් ද වාර්තා වී නොමැත.

2021 මැයි මාසයේ දී, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වෙරළ ආසන්නයේ වූ කුඩා ස්වයංක්‍රීය සබ්මැරීනයක් ලෙස හඳුනාගත් යමක් විනාශ කරන ආකාරය යැයි දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබිණි. කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී අදාළ උපාංගයේ කිසිදු රූපයක් දර්ශනය නොවී ය.

3. උතුරු කොරියානු F7 ආර්පීජී

F7 ආර්පීජී ලෝන්චරය ඔක්තෝබර් 7 ප්‍රහාරයේ සහ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන්ට එරෙහි ගොඩබිම් සටන් දැක්වෙන හමාස් සංවිධානයේ වීඩියෝවල හොඳින් දක්නට ලැබේ.

මෙම ග්‍රෙනේඩ් ලෝන්චරය උතුරු කොරියාවෙන් පැමිණ ඇති අතර එහි ඉහළින් ඇති මිසයිල කොටසේ හිස වටා පිහිටි රතු ඉර වැනි සුවිශේෂී ලක්ෂණ දක්නට ඇත.

සන්නද්ධ හමාස් සටන්කාමීන් F7 ආර්පීජී රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක සත්‍යතාව බීබීසී අරාබි සේවය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු F7 RPGයට සුවිශේෂී රතු වළල්ලක් ඇති අතර, IDF අල්ලා ගත් ආයුධ මෙම ප්‍රදර්ශනයේ ඉදිරිපස දක්නට ලැබේ

ඉස් අල්-දීන් අල්-කසාම් බලකාය විසින් ද මෙම අවිය යොදාගෙන සටන් කරන අයුරු දැක්වෙන දර්ශන නිකුත් කරනු ලැබ ඇත.

අත්පත් කර ගත් අවි ආයුධ ප්‍රදර්ශනය කිරීමේ කොටසක් ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් F7 ආර්පීජී මාධ්‍යවේදීන්ට පෙන්වා ඇති අතර, එය හමාස් සංවිධානය එම අවි භාවිත කර ඇති බවට සාක්ෂියක් බව පවසයි.

F7 ආර්පීජී ලෝන්චරය වඩා ත් ප්‍රසිද්ධ එහි වේගවත් රීලෝඩ් කිරීමේ හැකියාව සඳහා වන අතර බර වාහන විනාශ කිරීමේ දී වඩා ත් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි.

හිටපු බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි නිලධාරියෙකු වන ෆිලිප් ඉන්ග්‍රම් පවසන්නේ, ඔහු අන්තර්ජාලය ඔස්සේ දැක ඇති වීඩියෝ පට අනුව, හමාස් සටන්කාමීන් ඒවා නවීකරණය කර ඇතැ යි දිස්වන බව ය.

ඔවුන් යුද්ධ ටැංකි නාශක මිසයිල කොටස වෙනුවට, උණ්ඩ කැබලි සහිත පුද්ගල නාශක ප්‍රභේදයක් සවිකර එය බෝම්බයක් බවට පත් කර ඇති අතර, එය ගොඩබිම සිටින හමුදාවන්ට එරෙහිව භාවිත කළ හැකි බව ඔහු පවසයි.

"මෙම ආයුධ හමාස් සංවිධානයට ලැබුණේ උතුරු කොරියාවෙන් ද, එහෙමත් නැත්නම් උතුරු කොරියාව වසර ගණනාවක් තිස්සේ ආයුධ සපයන ඉරානයෙන් ද කියලා ඍජු සාක්ෂි නැහැ," ඔහු බීබීසී අරාබි සේවය වෙත පවසයි.

"කොහොම වුණත්, ඔවුන්ට ඒ ආයුධ ලබා ගන්න වෙනත් මාර්ගයක් නැහැ. උතුරු කොරියාව තමන්ගේ විදේශ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් උපයා ගන්නේ මේ ක්‍රමයෙන්."

කෙසේ වෙතත්, උතුරු කොරියානු රජය, එහි නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන KCNA හරහා හමාස් සංවිධානය තම අවි භාවිත කර ඇති බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු පළ වුණු එවැනි වාර්තා "සත්‍ය නොවන කටකතා සහ බොරු" ලෙස උතුරු කොරියානු රෙජීමය ප්‍රතික්ෂේප කළේ ය.

එහෙත් ජනවාරි මස මුලදී දකුණු කොරියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, උතුරු කොරියාවේ නිෂ්පාදිත ආයුධ හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරයේ භාවිත කරනු ලබන බවට එරට බුද්ධි අංශ විශ්වාස කරන බව ය.

4. 'ෂවාස්' නම් පිපිරුම් උපාංග

සමාජ මාධ්‍යවල ඇති හමාස් සංවිධානයේ වීඩියෝවල දක්නට ලැබෙන තවත් අවියක් වන්නේ, 'ෂාවාස්' නම් උපාංගය යි. ෂවාස් යනු, අරාබි භාෂාවෙන් ගිනිදැල් සඳහා වන වචනය යි. එය, සඟවා තබා ඒ සමීපයෙන් ගමන් ගන්නා වාහන විනාශ කිරීමට භාවිත කරන, රට තුළ නිෂ්පාදිත පුපුරණ ද්‍රව්‍යයකි.

ගාසා තීරය තුළ ඊශ්‍රායලය ගොඩබිම ඔස්සේ ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ එය ඒවා භාවිත කළ බව හමාස් සංවිධානයේ හමුදා අංශය තහවුරු කර ඇත.

ඊශ්‍රායලය ඔවුන් ගාසා තීරයේදී අත්පත් කර ගන්නා ලද මෙම අවි විශාල ගණනක් ප්‍රදර්ශනය කර ඇති අතර, එමඟින් ඒවා ගාසාව තුළ නිෂ්පාදනය කිරීමට හමාස් සංවිධානය කොපමණ උත්සහයක් දැරුවේ ද යන්න පෙන්නුම් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Al-Qassam Brigades

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්-කසාම් බළකාය මීට පෙර 'ෂාවාස්' පතලේ වීඩියෝවක් සමාජ මාධ්‍ය නාලිකාවල බෙදාගෙන ඇත

2023 ජූලි මාසයේදී, අල්-කසාම් බළකාය වයරයකට සම්බන්ධ කර ඇති මෙම පුපුරණ ද්‍රව්‍ය පෙන්වන වීඩියෝවක් නිකුත් කළේ ය.

ඉන්ග්‍රම් පවසන්නේ, හමාස් සංවිධානය මෙම ගැටුමේ දී එහි නවීකරණය කරන ලද මාදිලියක් භාවිත කරන අතර ඉන් ඊශ්‍රායල සන්නද්ධ වාහන විනාශ කළ හැකි බව ය.

මෙම උපාංග පුපුරණ ද්‍රව්‍යවල ගිල්වා ඇති, සාමාන්‍යයෙන් තඹවලින් සාදන ලද ලෝහ තැටියකින් සමන්විත බව ඔහු පවසයි.

පිපිරීමේ දී, තඹ තැටිය වේගයෙන් විසි වී යන අතර එය ඉලක්කගත වාහනවල සන්නාහය හරහා ගමන් කරයි.

මෙම උපාංග සරල ලෙස පෙනුන ද ඒවා නිර්මාණය අතින් සහ භාවිතය අතින් සංකීර්ණ වේ.

වඩාත් ම අභියෝගාත්මක කොටස වන්නේ, තඹ තැටි ලබා ගැනීම සහ ඒවා නිවැරදිව හැඩගස්වා ගැනීම වන අතර, හමාස් සංවිධානය විසින් ඒවා නිෂ්පාදනය කිරීමට එයට ඇති හැකියාව පෙන්නුම් කරනු ලැබ ඇති බව ඔහු තවදුරටත් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, හමාස් සංවිධානය ආයුධ නිෂ්පාදනය සඳහා මේ ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතා කරයි

හමාස් සංවිධානය අවි නිෂ්පාදනය සහ ඒවා ලබා ගැනීම අඛණ්ඩව කරගෙන යන්නේ කෙසේ ද?

හමාස් සංවිධානය පුපුරා නොගිය ඊශ්‍රායල බෝම්බ නැවත වෙනත් ආකාරයකට භාවිත කරනවා සේම, හානි වූ හෝ විනාශ වූ ගොඩනැගිලිවලින් ලබාගන්නා ලෝහ සහ වයර් යළි භාවිත කරයි.

බ්‍රිගේඩියර් ජෙනරල් රාගෙබ් පවසන්නේ, ගාසා තීරයේ මායිම් දිගේ රහසිගත උමං මාර්ග සහ මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායල බාධක මඟහැර යාමට උත්සහ කරන බෝට්ටු භාවිත කර ඉරානය ගාසා තීරය වෙත ආයුධ ජාවාරම් කිරීමට උපකාර කර ඇති බව ය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (IRGC) හිටපු ජෙනරල්වරයෙකු වන, දැනට එරට සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එසතුල්ලා සර්ගාමී පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වලට ඉරාන මිසයිල සැපයීම සහ ගාසා තීරයේ ඇති ඔවුන්ගේ උමං මාර්ගවලට ඇතුළු වීමට ඔහුට පැවති සම්බන්ධය ගැන 2023 වසරේ නොවැම්බර් මාසයේ එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.

හිටපු ඊජිප්තු හමුදා මාණ්ඩලික ප්‍රධානී යසර් හෂේම් සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට පූර්ණ වශයෙන් එහි දේශසීමාවල බලය නොපැවතිය හැකි බව ය. ලෙබනනයේ සිට ඊශ්‍රායලය දක්වා දිවෙන "ජාත්‍යන්තර ජාවාරම් මාර්ගයක්" පවතින බව ඔහු පෙන්වා දෙයි.

2022 සැප්තැම්බරයේ ඊශ්‍රායල බලධාරීන්, ඔවුන් කාරෙම් ෂලෝම් හරහා ගාසා තීරයට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ උත්සහයක් ව්‍යර්ථ කළ බව නිවේදනය කළේ ය. මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබුණේ, නෞකාවක ප්‍රවාහනය කරමින් තිබුණු රෙදි තොගයක් තුළ ය.