ඉන්දු - පකිස්ථාන ක්‍රිකට් විරසකය කාන්තා ලෝක කුසලානයෙනුත් මතු වූ හැටි

    • Author, ප්‍රවීන්
    • Role, බීබීසී වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

"එක් පැත්තකින් තරගය පැවතියත් මිත්‍රත්වය නොවෙස්ව පවතිනවා."

වසර තුනකට පමණ පෙර, ඉන්දීය සහ පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් එක්දින ලෝක කුසලානයේදී මුහුණට මුහුණ හමුවූ විට, පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩිකාවක වූ නීඩා ඩාර් මෙසේ පවසා තිබිණි.

ඉන්දීය සහ පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර මිත්‍රත්වය වසර ගණනාවක් පුරා ශක්තිමත් වෙමින් පවතින බව ද ඇය පැවසීය.

එහෙත්, ඔක්තෝබර් 5 වන ඉරිදා, ඉන්දීය සහ පකිස්ථාන කාන්තා කණ්ඩායම් මුහුණට මුහුණ හමුවූ විට, එම ප්‍රකාශ අතීතයට පමණක් අයත් වූවක් බව පෙනිණි.

ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගයේදී මෙන් ම, පෙහෙල්ගාම් ප්‍රහාරයේ බලපෑම සහ ඉන්පසුව ඇති වූ ඉන්දියා-පකිස්ථාන ගැටුම ශ්‍රී ලංකාවේ පැවති මෙම තරගයේදී ද දක්නට ලැබිණි.

ඉරිදා (ඔක්: 05) තරගයේදී ඉන්දීය කණ්ඩායම පකිස්ථානය ලකුණු 88කින් පරාජය කළේ ය. කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර වාර්තාව දැන් 12-0ක් ලෙස පවතී.

නමුත් මෙවර තරගයෙන් පසුව, පසුගිය තරගාවලිවලදී මෙන් ඉන්දියාවේ සහ පකිස්ථානයේ ක්‍රීඩිකාවන්ගේ මිත්‍රත්වය ප්‍රකට කරවන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ වූයේ නැත.

ඉන්ටර්නෙට් හරහා ආදරයේ උදාහරණයක් බවට පත්වූ ඡායාරූපය

2022 එක්දින ලෝක කුසලාන තරගය අතරතුර පකිස්ථාන නායිකා බිස්මා මහරූෆ්ගේ සය මස් වයසැති දියණිය ෆාතිමා පැමිණ සිටියා ය. තරගය අවසන් වූ වහා ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට බිස්මා මහරූෆ්ගේ දියණිය සිය තුරුළෙන් ඉවත් කිරීමට හිත දුන්නේ නැත.

තරගයෙන් පසු, ස්ම්‍රිති මන්දනා, හර්මන්ප්‍රීත් කෞර් සහ ෂෆාලි වර්මා ෆාතිමාව ඔසවාගෙන ඇයව වැළඳ ගත්හ. සියලු ම ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ෆාතිමා සමඟ සෙල්ෆි ගත් අතර, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මෙම ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කළේ ය.

ස්ම්‍රිති මන්දනා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ෆාතිමාගේ පින්තූරයක් පළ කර බිස්මා ආස්වාදයන් ලෙස හැඳින්වීය. "මවක් වී මාස හයකට පසු නැවත පිටියට පැමිණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආස්වාදජනක යි" යනුවෙන් ඇය ලිවී ය.

"බිස්මා මහරූෆ් ලොව පුරා සිටින කාන්තා ක්‍රීඩිකාවන්ට ආදර්ශයක්. ෆාතිමා ළදැරියට මුළු ඉන්දියාවේ ම ආදරය."

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ද 2022 මාර්තු 6 වන දින ඉන්ස්ටග්‍රෑම්හි මෙසේ ලිවී ය, "මොනතරම් සුන්දර මොහොතක් ද! ක්‍රිකට් පිටියේ සීමාවන් තිබේ, නමුත් පිටියෙන් පිටත එය සියලු සීමාවන් බිඳ දමයි. ක්‍රීඩාව මිනිසුන් එක්සත් කරයි."

එම තරඟයෙන් පසුවත් මේ ආදරය ගැන ම නිඩා ඩාර් කතා කළා. ඇය මෙසේ පැවසීය, "අපි ඉන්දියානු කණ්ඩායම හමුවෙන්නේ කලාතුරකින්, නමුත් අපි හමුවෙන සෑම අවස්ථාවක ම, අපි සුහදව කතාබහ කරනවා."

"අපි හොඳ සම්බන්ධතාවක් බෙදා ගන්නවා, අනාගතයේදීත් අපි එය පවත්වා ගැනීමට උත්සහ කරනවා. තරගයෙන් පසු ඉන්දීය ක්‍රීඩිකාවන් අප වෙත පැමිණ අප සමග කතා කිරීම ගැන අපි ඉතා සතුටු වුණා. බිස්මාගේ දියණියට මෙතරම් ආදරයක් ලබා දුන්න එක ගැන ගොඩක් සතුටු යි."

මාධ්‍යවේදී අහ්සාන් ඉෆ්තිකාර්, ෆාතිමා සමග ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප X සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබිණි.

ඔහු ලියා තිබුණේ, "ෆාතිමා සමග ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප ගැනීමට ලැබීම මහත් සතුටක්. මට මේ අවස්ථා ග්‍රහණය කර ගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා," යනුවෙනි.

තරගයට පෙරදී ම සිදුකළ අනුමානයන්

තරගයට පෙර සිට ම, ආසියානු කුසලානය මෙන්, කාන්තා එක්දින ලෝක කුසලානයේදී ද දෙරටේ ක්‍රීඩිකාවන් අතර අතට අත දීමක් සිදු නොවන බවට මාධ්‍ය වාර්තාවල අනුමාන පළ විය.

තරගයට පෙර සෙනසුරාදා පැවති පූර්ව මාධ්‍ය හමුවට පන්දු යැවීමේ පුහුණුකරු අවිශ්කර් සල්වි සහභාගී විය. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට අනුව, පකිස්ථාන මාධ්‍ය ආයතනයක වාර්තාකරුවෙකු ඔහුගෙන් විමසුවේ, "ආසියානු කුසලානයෙන් ආරම්භ වූ මතභේදය මෙහිදීත් දිගට ම පවතිනු ඇති ද?" යනුවෙනි.

එවිට එහි සිටි මාධ්‍ය කළමනාකරු පැවසුවේ, "අපි මේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ" යනුවෙනි.

ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තාවට අනුව, සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවට පෙර, "දේශපාලනය සහ අතට අත දීම ගැන කිසිදු ප්‍රශ්නයක් අසන්නේ නැහැ, මන්ද එයට පිළිතුරු නොලැබෙනු ඇත" යනුවෙන් නිවේදනය කරන ලදී.

කෙසේ වෙතත්, "නවතම ආතතිය මධ්‍යයේ ඔබ කලින් සිටි ආකාරයේ මිත්‍රත්වයක් ඔබට මග හැරෙනු ඇත් ද?" යනුවෙන් පකිස්ථාන නායිකාවගෙන් විමසන ලදී.

ෆාතිමා සානා සිනහවකින් පිළිතුරු දුන්නේ, "පැහැදිලිව ම. නමුත් අපගේ ප්‍රධාන ඉලක්කය ක්‍රීඩා කිරීම යි, අපගේ අවධානය ඒ කෙරෙහි පවතිනු ඇත. අපි අනෙකුත් කණ්ඩායම් සමග හොඳ සබඳතා පවත්වා ගැනීමට උත්සහ කරනවා," යනුවෙනි.

"මීට පෙර බිස්මාගේ දියණිය සියලු දෙනා ම එකට එකතු කළා, අපි ගොඩක් විනෝද වුණා. ක්‍රීඩිකාවන් විදිහට අපි එවැනි අවස්ථාවන්ට කැමති යි," ඇය වැඩිදුරටත් පැවසීය.

ජුලාන්ගෙන් ආභාෂය ලැබූ කයිනාත් ඉම්ටියාස්

ඉන්දියාව සහ පකිස්ථානය අතර මිත්‍රත්වය පිළිබිඹු වූයේ, 2022 ලෝක කුසලානය අතරතුර පමණක් නොවේ. 2017 වසරේ ජූලි මාසයේදී පැවති තරගයකින් පසුව, පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩිකා කයිනාත් ඉම්ටියාස් ජූලාන් ගෝස්වාමි සමග ඡායාරූපයක් බෙදා ගත්තා ය.

ඇය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Xහි ලියා තිබුණේ, "2005 දී, මම පළමු වරට ඉන්දීය කණ්ඩායම දුටුවේ ආසියානු කුසලානය පකිස්ථානයේ පවත්වපු නිසා. මම තරගාවලියේ පන්දු එකතු කරන්නියක වූ අතර ඒ කාලයේ වේගවත් ම පන්දු යවන්නිය වූ ජූලාන් මම දුටුවෙමි. මම ඇයගෙන් උත්තේජනයක් ලැබූ අතර දැන් වසර 12කට පසු මම ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කරමි."

පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝවිට ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවන් පමණක් නොව ඉන්දීය පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් ද විවෘතව ප්‍රශංසා කර ඇත.

2018 දී විරාත් කෝලි ඔහුගේ 35 වන එක්දින ශතකය රැස් කළේ ය. ඔහුගේ ශතකයට සුබ පතමින්, පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩිකා සෙයිදා නයින් ෆාතිමා අබිඩි මෙසේ ලිවී ය, "විරාත් කෝලි පිතිකරුවෙකු ලෙස දැඩි අවධානයකින් පන්දුවට පහර දෙන්නෙකි. 35 වන ශතකය. මොනතරම් ආකර්ෂණීය පිතිකරණයක් ද?. ඔහු සැබවින් ම විශිෂ්ටයෙකි."

මිත්‍රත්වයේ බිඳවැටීම

පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් සහ ඉන්දියා-පකිස්ථාන ගැටුමෙන් පසුව පැවති ආසියානු කුසලාන තරගාවලියේදී පිරිමි කණ්ඩායම් දෙක අතර වෙනස් ආකාරයක එදිරිවාදිකමක් දක්නට ලැබිණි.

මෑතකදී අවසන් වූ ආසියානු කුසලාන තරගාවලියේදී අතට අත නොදීමත් සමග ආරම්භ වූ මතභේදය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ පකිස්ථාන රජයේ අමාත්‍ය මොෂින් නක්වි අතින් කුසලානය භාර නොගැනීම දක්වා වර්ධනය විය.

එහි ප්‍රතිඵලය වූයේ, ඉන්දියාව ආසියානු කුසලානයේ ජයග්‍රාහකයා වී සතියකට වැඩි කාලයක් ගත වී ඇතත් ආසියානු කුසලාන කුසලානය මෙතෙක් ඔවුන්ට හිමි නොවීම ය.

ඒ හා සමානව, සමපේක්ෂණවලට අනුව, කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, මෙවර දෙරටේ ම ක්‍රීඩිකාවන් තරගයට පෙර සහ පසුව එකිනෙකා නොසලකා හැරීමට පියවර ගත්හ.

හර්මන්ප්‍රීත් කෞර් සහ ෆාතිමා සනා කාසියේ වාසිය විමසා බැලීමේදී එකිනෙකාට මුහුණ දුන්නේ නැත. තරගයෙන් පසුව පවා, දෙරටේ ක්‍රීඩිකාවන් අතට අත දීමට හෝ ඔවුන්ගේ මිත්‍රත්වය දිගට ම පවත්වාගෙන යාමට එකිනෙකාට සමීප වීමට උත්සහ කළේ ද නැත.