'DNA පරීක්ෂණයට චාමික කරුණාරත්න කිසිදු අවස්ථාවක කැමැත්ත පළ කර නැහැ':අධිකරණයේදී අද හෙළිවූ කරුණු
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීම සඳහා ඔහුගේ රුධිර සාම්පල ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ ලිඛිත කරුණු දැක්වීම් මැයි මස 13 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (මාර්තු 31වැනිදා) නියම කළේය.
සිය දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුණු බවත් එම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගුවන් නියමුවරියක වන සෙව්වන්දි සේනාධීර විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කාරිය සහ වගඋත්තකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් DNA පරීක්ෂණයක් කිරීම සඳහා සිය සේවා දායකයාගේ රුධිර සාම්පල ලබා ගැනීම සඳහා ඔහුගේ කැමැත්ත අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.
පුද්ගලයෙකුගේ කැමැත්ත නොමැතිව DNA පරීක්ෂණයක් කිරීම සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස කොමිසමකට (නියෝගයක්) නිකුත් කිරීමට නොහැකි බවත් ඒ සඳහා අධිකරණයට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.
ඒ අනුව සිය සේවා දායකයාගේ කැමැත්ත නොමැතිව DNA පරීක්ෂණයක් කිරීම සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස පැමිණිල්ල තුළින් කර ඇති ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහෙත් පැමිණිලිකාර ගුවන් නියමූවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පෙර අවස්ථාවේ කැඳවූ විට එවැනි DNA පරීක්ෂණයක් සඳහා කොමිසමක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවයේ කනිෂ්ඨ නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබූ බව සඳහන් කළේය.
ඊට අමතරව වග උත්තරකරු විසින් ළමා හා කාන්තා කාර්යාංශයට ලබා දුන් ප්‍රකාශය තුළද තමන් DNA පරීක්ෂණයකට එකඟතාවය පළ කරන බව ප්‍රකාශ කර තිබුණේ යැයි ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඒ අනුව DNA පරීක්ෂණය සඳහා වගඋත්තරකරු තුළ පවතින කැමැත්ත දැනටමත් ප්‍රකාශ වී ඇති නිසා එම පරීක්ෂණය සිදුකළ යුතු රසානාගාරය අධිකරණය විසින් නියම කර ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙසත් හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන් අනතුරුව වග උත්තරකාර චාමික කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙවැනි DNA පරීක්ෂණයක් සඳහා සිය සේවා දායකයා කිසිදු අවස්ථාවක කැමැත්ත පළ කර නොමැති බව පැවසීය.
එවැනි පරීක්ෂණයක් සඳහා සිය කනිෂ්ඨ නීතිඥවරිය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළ බවට පැමිණිලිකාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක අදාළ කරුණ සම්බන්ධයෙන් නිසි වැටහීමකින් තොරව එම කනිෂ්ඨ නීතිඥවරිය අදාළ ප්‍රකාශය සිදු කර ඇති බවත් කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම ඉල්ලීම සම්බන්ධ ලිඛිත කරුණු දැක්වීම් මැයි මස 13 වැනිදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න, ඔහුට දාව උපන් බව කියන ආර්යන් කරුණාරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කාර සෙව්වන්දි සේනාධීර කියා සිටින්නේ, ආර්යන් කරුණාරත්න නමැති තම බාල වයස්කාර දරුවා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට දාව 2025 වසරේ සැප්තැම්බර් මස 29 වනදා ඉපදුණු බවයි.
2023 වසරේ හෝ ඊට ආසන්න කාලයක ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න තමා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර ලිංගික සම්බන්ධතා සඳහා පොලඹවා ගත් බවත් ඇය සඳහන් කර තිබේ.
පසුව තමා ගැබ් ගැනීමෙන් පසුව ඔහු තමන් මග හැරීමට උත්සාහ කළ අතර දරුවාගේ පීතෘභාවය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය චෝදනා කර සිටියි.
ඒ අනුව අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියි.
අදාළ දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට සදහන් කරමින් උප්පැන්න සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අදාළ දරුවා සහ චාමික කරුණාරත්න DNA පරීක්ෂණයකට භාජනය කිරීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත