'දකුණු කොරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ මරණය සිදුවුණේ කොහොම ද කියලා තව ම තහවුරු කරලා නැහැ'

කියවීමේ කාලය: මිනිත්තු 4

දකුණු කොරියාවේ, දකුණු ක්යෝන්සන්ග් පළාතේ පිහිටි ගෝසෝං ප්‍රදේශයේ වූ ගොඩබිම පිහිටි මත්ස්‍ය ගොවිපළක තිබී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු හමුවූයේ පසුගිය ඉරිදා (නොවැම්බර් 09) රාත්‍රියේදී ය.

මෙලෙස මියගොස් ඇත්තේ අදාළ ගොවිපළේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටි දකුණු කොරියානු ජාතිකයෙකු සහ අවුරුදු 20 සහ 30 යන වයස් සීමාවල පසු වූ ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු බව දකුණු කොරියානු ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස කටයුතු කරන ඉසුරිකා කරුණාරත්න පැවසුවේ එම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බව ය.

'මරණයට හේතුව දැනුම් දීලා නැහැ'

බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දෙමින් සෝල් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක ඉසුරිකා කරුණාරත්න පැවසුවේ, ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ මරණයට හේතුව කුමක් ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා එරට පොලිසිය දැනුම් දී නොමැති බව යි.

"දැනට අදාළ ප්‍රදේශයේ පොලිසියෙන් අපට දැනුම් දුන්නේ මත්ස්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක ටැංකියක තිබිලා ශ්‍රී ලාංකිකයින් දෙන්නා එක්ක තවත් දකුණු කොරියානු ජාතිකයෙක්ගේ සිරුරු හම්බ වුණා කියලා ඉකුත් නොවැම්බර් 9 වැනි දා රාත්‍රියේදී. මේ අයගේ මරණය සිදුවුණේ කොහොම ද කියලා තව ම තහවුරු කරලා නැහැ. වතුරේ ගිලිලා සිදුවෙච්ච මරණයක් ද එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා මේ මරණ සිදුවුණා ද කියලා."

"දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම අනතුර සිදුවුණ ස්ථානයට වගේ ම අදාළ බලධාරීන් එක්ක කතා කරන්න ඒ ස්ථානයට ගියා.

"මේ මියගිය දෙන්නා කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. අපේ බියුරෝ රෙජිස්ටේෂන් එකේ තියෙන තොරතුරු වලට අනුව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කෙනා 2025 අවුරුද්දේ පෙබරවාරි මාසයේදී ත්, මාතලේ ප්‍රදේශයේ පදිංචි කෙනා 2024 ජුනි මාසයේදී රෙජිස්ටර් වෙලා රැකියාවන්වලට ආවා කියලා තියෙන්නේ.

"මේ අනතුරෙන් මියගිය ලාංකිකයින් දෙන්නාගේ ඥාතීන්ට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහා අපි දැනුම් දීමක් කළා. දැනට එක පවුලක ඥාතීන් අපිට දැනුම් දීලා තියෙනවා අනතුරට පත්වෙලා මිය ගිය තමන්ගේ ඥාතියාගේ සිරුර ලංකාවට ගෙන්න ගන්න ඕන කියලා. දැනට අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා," ඇය පැවසුවා ය.

මළ සිරුරු සොයා ගැනීම

අදාළ මත්ස්‍ය ගොවිපළේ සේවය කරනු ලබන තම පියා සම්බන්ධ කර ගැනීමට නොහැකි බවට, දකුණු කොරියානු ජාතික වැඩ පරීක්ෂකවරයාගේ පුත්‍රයා විසින් එරට පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව එම නිලධාරීන් අදාළ ගොවිපළට පැමිණ සිදුකළ පරීක්ෂාවකදී ජල ටැංකියක තිබී මෙම පුද්ගල මළ සිරුරු සොයා ගෙන තිබිණි.

දකුණු කොරියානු පොලිසිය උපුටා දක්වමින් එරට ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය නොවැම්බර් මස 09 වන දා රාත්‍රී 8:30ට පමණ ගෝසෝං හි පිහිටි මත්ස්‍ය ගොවිපළේ විශාල ජල ටැංකියක් තුළ තිබී මෙම පුද්ගල සිරුරු සොයාගත් බවයි.

ඒ අනුව මීටර් 04ක් පළල, මීටර් තුනක් දිග සහ මීටර් දෙකක ගැඹුරක් සහිත ජල ටැංකියක තිබී ඔවුන්ගේ සිරුරු සොයා ගෙන තිබේ.

මෙම ටැංකිය, කුඩා මසුන් බෝ කරන ගොවිපළට ජලය සැපයීම සඳහා වූ ජලය ගබඩා කිරීම සඳහා භාවිත කර තිබෙන අතර මසුන් බෝ කිරීමේ ටැංකි වෙත පොම්ප කිරීමට පෙර විදුලි උපකරණ භාවිතයෙන් ජලය රත් කිරීම හෝ සිසිල් කිරීම සිදු කෙරෙන බව දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

මියගිය ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු රාජකාරි ඇඳුමකින් සැරසී සිටි අතර, අනෙක් ලාංකිකයා සහ දකුණු කොරියනු ජාතිකයා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි බව දකුණු කොරියානු ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

සිරුරු හමුවන විට එම ටැංකියේ ජලය පිරී තිබූ බව පොලිසිය පවසයි.

මේ අතර, බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු කියා සිටියේ මෙම සිදුවීමෙන් මියගිය කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයා සිය විවාහ ගිවිස ගැනීමෙන් අනතුරුව නැවත දකුණු කොරියාවේ රැකියාවට පැමිණියේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී බව යි.

"නැතිවෙලා තියෙන එක් කෙනෙක් මගේ යාළුවෙක්. එයා නිවාඩුවට ගිහින් එන්ගේජ්මන්ට් එක අරගෙන ආපහු කොරියාවට ආවේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී. ඇත්තට ම මොකක් ද වුණේ කියල කියන්න අපිවත් දන්නේ නැහැ. සමහර අය කියනවා ටැංකිය සුද්ද කරන්න ගියහම වතුර ටැංකියේ විෂක් ආඝ්‍රාණය වෙලා මේ අය සිහිය නැතිව වැටිලා ඉඳලා පස්සේ වතුරට යට වෙලා මැරුණා කියලා," ඔහු පැවසීය.

එහෙත් මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.