ඊශ්‍රායල් හමුදාව ග්‍රේටා තුන්බර්ග් ඇතුළු ක්‍රියාකාරීන් රැගත් යාත්‍රාව ඊශ්‍රායලය දෙසට

ඡායාරූප මූලාශ්‍රය, Freedom Flotilla Coalition

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙලිග්‍රෑම්හි පළ කරන ලද ඡායාරූපයක ක්‍රියාකාරීන් මැඩ්ලීන් නෞකාව මත දෑත් ඔසවාගෙන සිටින ආකාරය දැක්වේ.
කියවීමේ කාලය: මිනිත්තු 5

ඊශ්‍රායලයේ Kan ගුවන් විදුලි නාලිකාවේ යාවත්කාලීන කිරීමක් උපුටා දක්වමින්, මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායට ළඟා වූ බව බීබීසී පුවත් සේවය මීට පෙර වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, මිනිත්තු 30කට පමණ පෙර, ඊශ්‍රායලයේ නිල X ගිණුමේ සඳහන් වූයේ, යාත්‍රාව "ආරක්ෂිතව ඊශ්‍රායල් වෙරළ දෙසට යාත්‍රා කරමින් සිටින" බව ය, එතැන් සිට අනෙකුත් ඊශ්‍රායල මාධ්‍යවල වාර්තා පළ වී ඇත්තේ, එය තවමත් යාත්‍රා කරමින් පවතින බව ය.

ග්‍රේටා තුන්බර්ග් ඇතුළු ක්‍රියාකාරීන් රැගත් යාත්‍රාව පිළිබඳව යාවත්කාලීන කිරීම් සඳහා බීබීසී පුවත් අඛණ්ඩ අධීක්ෂණයක නිරත වෙයි.

මේ අතර, මැඩ්ලීන් යාත්‍රාවේ මුහුදු ගමන අධීක්ෂණය කරන Madleen Tracker වෙබ් අඩවිය දක්වා ඇති පරිදි යාත්‍රාව මේ වන විට මධ්‍යධරණී මුහුදේ ගාසා තීරය ආසන්නව දැකිය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊශ්‍රායල් නාවික අවහිරතා නොතකමින්, ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යාමට උත්සහ කරමින් තිබූ යාත්‍රාවකට ඊශ්‍රායල් හමුදා ගොඩ වූ බව ක්‍රියාකාරීහු පවසති.

මැඩ්ලීන් යාත්‍රාව සමග "සම්බන්ධතාව ගිලිහී ඇත" යනුවෙන් ෆ්‍රීඩම් ෆ්ලෝටිලා කෝලිෂන් සංවිධානයේ (FFC) ප්‍රචාරක කණ්ඩායම ටෙලිග්‍රෑම් යෙදුම හරහා දැනුම් දී තිබේ.

ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින පුද්ගලයින් දෑත් ඉහළට ඔසවාගෙන වාඩි වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් එහි පළ විය.

නැව මතට ගොඩ බැස ඇති බව තහවුරු කරමින් ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය පැවසුවේ, යාත්‍රාව "ආරක්ෂිතව ඊශ්‍රායල් වෙරළ දෙසට යාත්‍රා කරමින් ඇති" බවත් එහි මගීන් "ඔවුන්ගේ මව් රටවලට ආපසු යැවීමට අපේක්ෂා කරන" බවත් ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊජිප්තු වෙරළට ඔබ්බෙන් වූ බවට වාර්තා වූ නෞකාවේ සිටි අය අතර දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ද සිටී.

ගාසාහි හමාස් සටන්කාමීන් වෙත අවි ආයුධ ළඟා වීම වැළැක්වීම සඳහා තම අවහිර කිරීම් අවශ්‍ය බව ඊශ්‍රායලය පවසයි.

යාත්‍රාවට ගොඩ වූ බව වාර්තා කිරීමෙන් පසු, FFC සංවිධානය විසින් තුන්බර්ග් ඇතුළු ඇතැම් ක්‍රියාකාරීන්ගේ කෙටි, කලින් පටිගත කළ වීඩියෝ කිහිපයක් පළ කරන ලදී.

එම වීඩියෝ දර්ශනවල ක්‍රියාකාරීන් පවසන්නේ, "ඊශ්‍රායල් හමුදාව හෝ ඊශ්‍රායලයට සහය දක්වන හමුදා අපව අල්ලාගෙන පැහැරගෙන ඇති බව ඔබට දැකගන්න පුළුවන්," යනුවෙනි.

සිකුරාදා ඉතාලියේ සිසිලි දූපතෙන් පිටත් වූ යාත්‍රාව මානුෂීය ආධාර රැගෙන යන බවත්, "ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට සූදානමින් සිටින" බවත් FFC සංවිධානය මීට පෙර පැවසීය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනතුරු අඟවා තිබුණේ, යාත්‍රාව ආපසු හැරවිය යුතු බවත්, අවහිරතා බිඳ දැමීමට ගන්නා ඕනෑ ම උත්සාහයකට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියා කරන බවත් ය.

ඉරිදා Xහි සටහනක ඔහු මෙසේ ලිවීය: "මැඩලීන් වෛරී කණ්ඩායම ගාසා වෙත පැමිණීම වැළැක්වීමට ක්‍රියා කරන ලෙසත් - ඒ සඳහා අවශ්‍ය ඕනෑ ම පියවරක් ගන්නා ලෙසත් මම ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දී ඇත්තෙමි."

2007 සිට ක්‍රියාත්මක වන ඊශ්‍රායල් අවහිර කිරීමේ අරමුණ "හමාස් වෙත අවි ලබා දීම වැළැක්වීම" බවත් හමාස් විනාශ කිරීමට උත්සහ කරන ඊශ්‍රායලයේ ආරක්ෂාවට එය අත්‍යවශ්‍ය බවත් කැට්ස් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Freedom Flotilla Coalition

ඡායාරූප ශීර්ෂ වැකිය, මැඩ්ලීන් නෞකාව මත සිටින ක්‍රියාකාරීන්...

මුහුදු අවහිර කිරීම නීති විරෝධී බව FFC සංවිධානය තර්ක කර ඇති අතර, කැට්ස්ගේ ප්‍රකාශය ඊශ්‍රායලය සිවිල් වැසියන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස බලය යෙදවීමට තර්ජනය කිරීම සහ "එම ප්‍රචණ්ඩත්වය මඩ ගැසීමෙන් සාධාරණීකරණය කිරීමට උත්සහ කිරීම" පිළිබඳ උදාහරණයක් ලෙස පැහැදිලි කරයි.

"අපි බය වෙන්නේ නැහැ. ලෝකය බලාගෙන ඉන්නවා," FFC සංවිධානයේ මාධ්‍ය නිලධාරී හේ ෂා වියා පැවසීය.

"මැඩ්ලීන් කියන්නේ සිවිල් නෞකාවක්. ඒක නිරායුධව ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන අතර ලෝකය පුරා සිටින මානුෂීය ආධාර සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැගෙන යනවා... ගාසා වෙත ළඟා වෙන්න අප දරන උත්සහයට බාධා කිරීමට ඊශ්‍රායලයට අයිතියක් නැහැ."

මැඩ්ලීන් නෞකාව සහල් සහ ළදරු කිරිපිටි ඇතුළු සංකේතාත්මක ආධාර ප්‍රමාණයක් රැගෙන යන බව කණ්ඩායම පැවසීය.

බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ තුර්කිය යන රටවල පුරවැසියන් පිරිසක් නෞකාවේ සිටිති.

2010 දී, ගාසා දෙසට ආධාර රැගත් කණ්ඩායමක් රැගෙන යමින් සිටි තුර්කි නෞකාවක් වන මාවි මාමාරාට ගොඩ වූ ඊශ්‍රායල් කමාන්ඩෝ භටයින් පිරිසක් එහි සිටි 10 දෙනෙකු ඝාතනය කළහ.

මාස තුනක භූමි අවහිරයකින් පසු ඊශ්‍රායලය මෑතකදී ගාසා තීරයට සීමිත ආධාර ලබා දීමට පටන් ගත් අතර, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සහය දැක්වුව ද, මානුෂීය ආධාර කණ්ඩායම් විසින් පුළුල් ලෙස හෙළා දකින ලද Gaza Humanitarian Foundation හරහා එම ආහාර බෙදා දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝකර් ටර්ක් පසුගිය සතියේ පැවසුවේ, "භයානක තේරීම්: කුසගින්නෙන් මිය යාම හෝ ලබා ගත හැකි සොච්චම් ආහාර ප්‍රමාණයක් වෙත ප්‍රවේශ වීමට උත්සහ කරන අතරතුර මරා දැමීමේ අවදානම" යන දුෂ්කර තේරීම්වලට පලස්තීන වැසියන් මුහුණ දී සිටින බව ය.

කෙසේ වෙතත්, සඳුදා අලුයම X හි පළ කළ සටහනක ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය මෙසේ පැවසීය: "ග්‍රේටා සහ අනෙකුත් අය ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා වූ එක ම අරමුණ වූ මාධ්‍ය ප්‍රකෝප කිරීමකට උත්සහ කළ අතර - එම ආධාර තොගයට ට්‍රක් රථයකටත් වඩා අඩු ප්‍රමාණයක් අයත් විය - පසුගිය සති දෙක තුළ ආධාර ට්‍රක් රථ 1,200කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ සිට ගාසා වෙත ඇතුළු වී ඇති අතර, ඊට අමතරව, Gaza Humanitarian Foundation ගාසාහි සිවිල් වැසියන්ට ඍජුව ම ආහාර වේල් මිලියන 11කට ආසන්න සංඛ්‍යාවක් බෙදා හැර තිබෙනවා."

"ගාසා තීරයට ආධාර ලබා දීමට ක්‍රම තිබේ - ඒවාට Instagram සෙල්ෆි ඇතුළත් නොවේ."

2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් දියත් කර මාස 20කට ආසන්න කාලයක් ගත වී ඇත. එහිදී පුද්ගලයින් 1,200ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.

ගාසාහි හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් සිට අවම වශයෙන් පුද්ගලයින් 54,880 ක් මිය ගොස් තිබේ.