උතුරේදී මහවිරු දිනය සැමරේ.

උතුරු පළාතේ ස්ථාන කිහිපයකදී අද (27) සවස මහවිරු දින සැමරුම් වැඩසටහන් පැවැත්විණි.

මුලතිව්,යාපනය,මන්නාරම,කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක එලෙස මහවිරු සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක විය.

ආරක්ෂක අංශවලින් විවිධ බාධා එල්ල වුවද යුද්ධයෙන් මියගිය තමන්ගේ ඥාතීන් සිහි කිරීම එහිදි සිදුකළ බවද උතුරේ ජනතාව පවසති.

උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශාපාලන පක්ෂ නියෝජිතයින්ද යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරීම සිදුකළ බව සමාජ මාධ්‍ය හරහාද ප්‍රදර්ශනය කොට තිබිණ.

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය විශ්වවිද්‍යාලයේදී පැවති මහවිරු සැමරුම
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව්හි පැවති මහවිරු සැමරුම සඳහා භූමිය සුදානම් කොට තිබු අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව්හි පැවති මහවිරු සැමරුම සඳහා භූමිය සුදානම් කොට තිබු අයුරු

මහවිරු සැමරුම දින සැමරුම සෑම වසරකම නොවැම්බර් මස 27 වැනිදා සවස 6.05 ට පැවැත්වීම සාමාන්‍ය සාම්ප්‍රදායකි.

ඡායාරූප ශීර්ෂ වැකිය, මුලතිව්හි පැවති මහවිරු සැමරුමේදී යුද්ධයෙන් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් තම ඥාතීන් සමරමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, මන්නාරමේදී පැවති මහවිරු සැමරුම
ඡායාරූප ශීර්ෂ වැකිය, වවුනියාවේදී පැවති මහවිරු සැමරුම

කිලිනොච්චිය කනගපුරම්,මුලතිව් මල්ලාවි,යාපනය කෝපායි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම වෙඩිතලතිව් යන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල්ටීටී සංවිධානය ක්‍රියාකාරීව පැවැති අවස්ථාවේදී එවකට එල්ටීටී සංවිධානයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු දින සැමරුම් වැඩසටහන් පැවත්විණ.

එහිදී යුද්ධයෙන් මියගිය එල්ටීටී සාමාජිකයින් සිහි කරමින් මහවිරු ගීත ප්‍රචාරය කොට,මියගිය සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ගෞරවය පිරිනැමීම සිදුවේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්නාරමේදී පැවති මහවිරු සැමරුමේදී යුද්ධයෙන් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් තම ඥාතීන් සමරමින්

යුද ගැටුම්වලින් 1982 නොවැම්බර් 27 වැනිදා මියගිය එල්ටීටී ක්‍රියාකාරියෙකු වු ලුතිනන් සංකර් නමැත්තා සිහි කරමින් නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම පැවැත්වීම ආරම්භ කොට ඇති අතර, 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් කැළැවේ නිත්තකෙයිකුලම ප්‍රදේශයේ පළමු මහවිරු සැමරුම් වැඩසටහන පවත්වා ඇති බව කියවේ.