1995 වසරේදී 2025 ගැන පළ කළ අනාවැකි මොනවා ද?

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වර්චුවල් රියැලිටි උපැස් යුවළක්' පැළඳි මිනිසෙකු ද සිටින 2025ට අයත් මෙම මනඃකල්පිත යුවළ1995දී Tomorrow's World නමැති ටෙලිවිෂන් වැඩසටහනේ දක්නට ලැබිණි.
    • Author, ග්‍රෙයම් ෆ්‍රේසර්
    • Role, තාක්ෂණ වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 7

1995දී, බීබීසීයේ විකාශය කෙරුණු Tomorrow's World වැඩසටහන වසර 30කට පසු, එනම් 2025දී ලෝකය කෙබඳු වේදැයි අනාවැකි පළ කිරීමට කටයුතු කළේ ය.

තවදුරටත් විකාශනය නොවන මෙම වැඩසටහනට, "2025 වන විට අපට විශාල වෙනස්කම් අපේක්ෂා කළ හැකි යි," යන පුරෝකථනය සිදු කළ යුගයේ වඩාත් ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින් ද සහභාගී විය.

හොලෝග්‍රෑම් ශල්‍යකර්මවල (hologram surgery) සිට අභ්‍යවකාශ යානා ආදියේ කොටස් එක් රැස් කර ගන්නා ජෙල් වැනි ද්‍රව්‍යයක් (space junk gel) දක්වා වන ලොව ම පුදුමයට පත් කරවන නවෝත්පාදන රාශියක් පිළිබඳව ඉදිරිපත් කිරීමට වැඩසටහනේ නිෂ්පාදක කණ්ඩායම තීරණය කළේ ය.

එබැවින්, විශේෂඥයින් කිහිප දෙනෙකුගේ ද සහය ඇතිව සහ ඉකුත් දශක තුන තුළ සිදු වූ දෑ දෙස බලා අද ලෝකය කෙතරම් සාර්ථක ලෙස Tomorrow's World වැඩසටහන හරහා දැක ඇති දැයි අපි සොයා බලමු.

2005 'සයිබර් අවකාශ කැරලි'

ඡායාරූප ශීර්ෂ වැකිය, මූල්‍ය වෙළෙඳපොළවල් "වෛරස් ත්‍රස්තවාදයට නතු වීමෙන්" පසු කැරලි ඇති වනු ඇතැයි වැඩසටහන පුරෝකථනය කළේ ය

1995දී, ලෝක ව්‍යාප්ත ජාලය (world wide web) ශීඝ්‍රයෙන් වැඩෙමින් පැවතිණි. එය Tomorrow's World වැඩසටහන දුටුවේ එය අනාගතයේදී කරදර ඇති කරන තාක්ෂණික දියුණුවක් ලෙස ය.

ඔවුන් අනාවැකි පළ කළේ, "ධනවත් ව්‍යාපාරිකයින්" සහ බැංකු විසින් 2000 වන විට ප්‍රවේශය සීමා කළ "සුපිරි ජාලයක්" ස්ථාපනය කරමින් ඉන්ටර්නෙට් පාලනය කරනු ඇති බවට ය.

එය පෙරළා සයිබර් ප්‍රහාර, වෛරස් සහ කෝලාහල පවා ඇති කරන බව එමගින් අනාවැකි පළ කළේ ය.

නිගමනය - ඉන්ටර්නෙට් සෑම විට ම පාහේ විවෘතව පැවතිණි. එමෙන් ම කලකෝලාහල සිදුව නැත. නමුත් හැකර්වරුන්ගේ ක්‍රියා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ගැටලු ඇති කිරීමට හේතු වී ඇති බවට සැකයක් නැත.

මෙම වැඩසටහන පුරෝකථනය නොකළ එක් දෙයක් නම්, බීබීසීයේ Lazarus Heist podcast විශේෂඥ මතයක් ලෙස සඳහන් කෙරුණු උතුරු කොරියාව වැනි රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන හැකර්වරුන්ගේ ක්‍රියාකලාපය යි.

රජයයන් සහ සමාගම් සඳහා සයිබර් ආරක්‍ෂාව අතිශයින් වැදගත් වන අතර බැංකු ගැන සැක කරන පුද්ගලයන් බිට්කොයින් වැනි ක්‍රිප්ටො මුදල් සඳහා ප්‍රමුඛත්වය දී ඇත.

ග්‍රහක කැණීම් සහ අභ්‍යවකාශ කසළ ජෙල්

මෙම වැඩසටහන මගින් අභ්‍යවකාශ කැණීම ලාභ උපදවන කර්මාන්තයක් බවට පත්වනු ඇතැයි අනුමාන කරන ලද අතර සමාගම් විසින් වටිනා ලෝහ සඳහා පෘථිවිය අසල ග්‍රහක කැණීම් කරනු ලබනු ඇති බවට ද අනුමාන කළේ ය.

අභ්‍යවකාශ සුන්බුන් ගැටලුවක් බවට පත්වන බවත් එය ගගනගාමීන්ට ආරක්ෂිත නොවන බවත් මෙම වැඩසටහනේදී ප්‍රකාශ කෙරිණි. පිළිතුර - සුන්බුන් මන්දගාමී කිරීමට දැවැන්ත සැහැල්ලු ජෙල් (foam gel) වැනි ද්‍රව්‍යයක්.

නිගමනය - සුපර් ෆෝම් ජෙල් වැනි යමක් නොමැති අතර අභ්‍යවකාශ කසළ පිළිබඳ ගැටලුව උග්‍ර එකකි. අභ්‍යවකාශ කැණීම් කර්මාන්තයක් ද නැත - නමුත් එය වෙනස් විය හැකි ය.

අනාගතවාදියෙකු වන ටොම් චීස්රයිට් යනු, අප සිටින ග්‍රහලෝකයෙන් ඔබ්බට පතල් කැණීම පිළිබඳව ශුභවාදීව දකින අයෙකි.

"ලැබෙන වාසි කොච්චර ද කියලා කියන්න බැහැ. තාක්ෂණය තියෙන්නේ සම්පූර්ණයෙන් ම අපේ අතේ," ඔහු පැවසීය.

සුපිරි ශල්‍ය වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රොබෝවරුන්

ඡායාරූප ශීර්ෂ වැකිය, Tomorrow's World වැටසටහන සිතුවේ දුර බැහැර ස්ථානයක සිට ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් දූරස්ථව ක්‍රියාත්මක කරවනු ලබන රොබෝ යන්ත්‍ර මගින් රෝගීන්ට සැත්කම් කරනු ඇති බව ය

2004 වන විට එක්සත් රාජධානියේ සියලු ම රෝහල් සඳහා සිය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සාර්ථකත්වය දැක්වෙන ලැයිස්තුවක් ප්‍රසිද්ධ කරන ලෙසට නීතියක් සම්මත කරනු ඇති බවට Tomorrow's World වැඩසටහන පුරෝකථනය කළේ ය. ඉහළ ම ශ්‍රේණිගත කිරීම් ඇති ශල්‍ය වෛද්‍යවරුන් ජනප්‍රිය වනු ඇති අතර ම ඔවුන් හොඳ වැටුපක් ලැබෙනු ඇත. එමෙන් ම ඔවුන්ට රෝගීන් වෙත යාමට අවශ්‍ය නොවනු ඇති බවට ද පුරෝකථනය කළේ ය.

ඒ වෙනුවට, රෝගියාගේ හොලෝග්‍රෑමයක් ඔවුන් වෙත යවනු ලබන අතර ශල්‍ය වෛද්‍යවරයා "අවකාශමය අත්වැසුම්" භාවිතයෙන් ක්‍රියා කරනු ඇත. රෝගියාගේ අසල සිටින රොබෝවෙකු ශල්‍ය වෛද්‍යවරයාගේ චලනයන් මනාව අනුකරණය කරනු ඇත.

නිගමනය - ඔවුන් එය නිවැරදිව ම කළේ නැත, නමුත් රොබෝ යන්ත්‍ර සැත්කම් සඳහා සහය වෙයි.

පාවෙන හිසක් සහිත ස්මාර්ට් ස්පීකරයක්

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇලෙක්සා? සිරී? ගූගල්? ඒවා ම නොවේ.

මෙම වැඩසටහනේ නූතන ලන්ඩනයේ සිටින බව පෙනෙන අනාගත මිනිසෙකු (වර්චුවල් රියැලිටි උපැස් යුවළක් පැළඳ සිටින), ඔහුගේ බිරිඳ සහ තරුණ ගැහැනු දරුවෙකු දර්ශනය කළේ ය.

එක් කොටසක, ස්ත්‍රියකගේ පාවෙන හිසක් "ස්මාර්ට් ස්පීකරයකින්" පිටතට පැමිණ "ඉන්දු ඩිස්නි" වෙත නිවාඩුවක් ගත කිරීමට ගොස් වසරක් ගත වී ඇති බව පවසයි. "බැංගලෝර් වෙත ෂටලයක්" හරහා තවත් නිවාඩුවක් ගත කිරීමට, එහි යාමට ගත වන්නේ විනාඩි 40ක් පමණක් බව පවසමින් ඇය ඔහුව දිරිමත් කරයි.

නිගමනය - අතිශය වේගවත් සංචාර වෙන කවරදාටත් වඩා දුරස් බවක් දැනෙන නමුත් හොලෝග්‍රෑම්, ස්මාර්ට් ස්පීකර් සහ වීආර් හෙඩ්සෙට් දිනෙන් දින ප්‍රචලිත වෙමින් පවතී.

ඔබේ අතේ ඇති මයික්‍රොචිප් එකක් භාවිතයෙන් බැංකු කටයුතු කර ගැනීම

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ අතේ සවි කර ඇති චිපයක් භාවිතයෙන් මුදල් ආපසු ගැනීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේ ද?

වැඩසටහනේ වෙනත් තැනක, බැංකුකරණයේ අනාගතය පිළිබඳ දැක්මක් අපට ලබා දෙන ලදී.

කාන්තාවක බැංකුවකට ගොස් මිනිසුන් නොමැති බවට පැමිණිලි කරමින් "යුරෝ මාර්ක් 100ක් ආපසු ගන්නා ආකාරය එහි දැක්වෙයි. ඇගේ අතේ ඇති චිපයක් ස්කෑන් කිරීමෙන් පසුව බැංකුව ඇයට මුදල් ලබා දීම සිදු කරයි.

නිගමනය - බැංකුකරණය ඇත්ත වශයෙන් ම වඩ වඩා ත් ස්වයංක්‍රීය වී ඇත. මිනිස් සිරුර තුළ සවි කරන ක්ෂුද්‍ර චිප හරහා ගෙවීම් සිදු කිරීම යථාර්ථයක් වුව ද, අනෙකුත් තාක්ෂණයන් - ප්‍රධාන වශයෙන් ඇඟිලි සලකුණු සහ මුහුණු ස්කෑන් කිරීම - වඩා ත් පුළුල් ලෙස භාවිත වේ.

වැඩසටහන ඉදිරිපත් කළ අයගේ මතකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගෙවතු වගා වැඩසටහන් රසවිඳින බොහෝ දෙනෙකුට මොන්ටි ඩොන් හුරුපුරුදු මුහුණකි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Gardeners's World තරුව මොන්ටි ඩොන් මීට වසර 30කට පෙර එම Tomorrow's World වැඩසටහනේ ඉදිරිපත් කරන්නෙකු විය. දුඹුරු වලසා ඇතුළු සතුන් නැවත පැමිණීමට තුඩු දුන් ජාන ඉන්ජිනේරු විද්‍යාව සහ බහු මහල් කෘෂිකාර්මික පහසුකම් හේතුවෙන් බ්‍රිතාන්‍ය වනාන්තර විශාල වශයෙන් ප්‍රතිෂ්ඨාපනය වන අයුරු ඔහු වැඩසටහනේ තම කොටසේදී පුරෝකථනය කළේ ය.

දැන් ඒ ගැන ආවර්ජනය කරමින් ඔහු බීබීසී පුවත් සේවයට පැවසුවේ ඔහුගේ වැඩසටහනේ ඔහු ඉදිරිපත් කළ කොටස "අභව්‍ය" සහ "බොළඳ" බව ය.

ඉදිරි වසර 30 දෙස බලමින්, වර්තමාන තරුණ පරම්පරාව "දේශගුණික විපර්යාසවලට වඩා සංවේදී" බව ඔහු සතුටු වන අතර 2055 වන විට මිනිසුන් තමන්ගේ ම ආහාර වැඩි වැඩියෙන් වගා කරනු ඇතැයි සිතයි.

ඔහු මෙසේ ද පැවසීය: "Tomorrow's World වැඩසටහන ස්වභාවයෙන් ම මානව වර්ගයාට ලෝකය වෙනස් කිරීමට සහ වැඩිදියුණු කිරීමට හැකි ආකාරය දෙස තමයි බැලුවේ. නමුත් එතැන් පටන් අප ඇත්තට ම ඉගෙන ගත් දෙය තමයි, මිනිස් වර්ගයාට දේවල් නරක අතට හැරීමේ පුරුද්දක් ඇති බව, විශේෂයෙන් පාරිසරික වශයෙන්, ඒක වෙනස් කිරීමට සහ පාලනය කිරීමට උත්සහ කරනවාට වඩා අපි සොබාදහම සමග වැඩ කළ යුතු බව."

ඡායාරූප ශීර්ෂ වැකිය, මොන්ටි ඩොන් 1995 විකාශය කෙරුණු මෙම වැඩසටහනේ දුඹුරු වලසුන් නැවත හඳුන්වාදීම ගැන කතා කරමින්

විවියන් පැරී අනාවැකි පළ කළ මෙම රූපවාහිනී වැඩසටහනේ තවත් ඉදිරිපත් කරන්නියක වූ අතර ඇය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කොටසක් ඉදිරිපත් කළා ය.

ඇය එය රූගත කිරීම සහ එවකට සීමිතව පැවති දෘශ්‍ය ප්‍රයෝග ගැන ආදරයෙන් සිහිපත් කරයි. "මට ඇත්ත මට පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැතිව ඉන්න සිද්ධ වුණා. කුඩා කැමරාවක් සවි කරපු කණ්නාඩි කූටමක් දාගෙන මම හිටියේ. ඒක මගේ මූණට ඇලිලා තිබුණේ කළුපාට ඇලෙනසුලු දේකින්.

"එදා හොඳට රස්නේ දවසක්. අර කළු පාට ද්‍රව්‍යය මගේ මූණ දිගේ බේරෙන්න පටන් ගත්තා. මට හෙලවෙන්නවත් බැරි වුණා. මේකප් කරපු කෙනෙක් ඒක ගලවන්න කපු පුළුන් දාපු දිග කෝටුවක් අරගෙන ආවා."

විවියන් 2013 සිට Genomics England සමාගම සමග සම්බන්ධ වී කටයුතු කරන අතර, ජානමය තත්ත්වයන් හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට උපකාර කිරීම සඳහා පර්යේෂණ අධ්‍යයනයක යෙදී සිටින බැවින්, 1995 Tomorrow's World වැඩසටහනේ ජාන පිහිටා ඇති අනුපිළිවෙල පිළිබඳ පළ කළ ඇතැම් අනාවැකි සැබෑ වී ඇති බව අවධාරණය කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබට කළු පැහැති ද්‍රව්‍යය පෙනෙනවා ද? මෙම කොටස රූපගත කිරීමේදී විවියන් පැරීට සහ වේශ නිරූපණ කණ්ඩායමට නිර්මාණශීලි වීමට සිදුවිය

2055දී ලෝකය කෙබඳු විය හැකි ද?

අනාගතවාදියෙකු වන ට්‍රේසි ෆෝලෝස් සිතුවේ 1995 වැඩසටහන බොහෝ දෑ නිවැරදිව පුරෝකථනය කළ ද පසුගිය වසර 30 තුළ දක්නට ලැබුණු විශාල වෙනස්කම් දෙකක් එයට මග හැරී ඇති බව ය. එනම්, විශාල ලෙස තාක්‍ෂණය සහ සමාජ මාධ්‍ය පැතිරීම ය.

2055 වන විට, බොහෝ අය "සංජානනමය වශයෙන් සම්බන්ධ" වනු ඇති බව ඇය සිතයි - එනම් අදහස් හුවමාරු කර ගැනීමට උපකාර වන සර්වර් හරහා මිනිසුන් සහ තාක්ෂණය එක්ව කටයුතු කරන මනසක්.

"සාමූහිකව ගැටලු විසදීම වචනාර්ථයෙන් ම මොළය අවුල් කරාවි. ඒ කියන්නේ. හිතද්දී ම අදහස් බෙදා ගන්න පුළුවන් වෙන එක."

ටොම් චීස්රයිට් සිතන්නේ ඉදිරි වසර 30 සඳහා වඩාත් ආකර්ෂණීය අපේක්ෂාවන් දෙක, ද්‍රව්‍යයමය විද්‍යාව සහ ජෛව ඉන්ජිනේරු විද්‍යාව වනු ඇති බව ය.

ද්‍රව්‍යයමය විද්‍යාවේදී, වඩා ත් ශක්තිමත්, සැහැල්ලු සහ තුනී උපාංග නිර්මාණය කිරීම ලෝකය වෙනස් කළ හැකි අතර ජෛව ඉන්ජිනේරු විද්‍යාවේදී දැඩි රෙගුලාසි මත වෛද්‍ය විද්‍යාව පරිවර්තනය කිරීමට සහ "මිනිස් වර්ගයා මුහුණ දෙන විශාලතම අභියෝගවලින් සමහරක් එනම්, කාබන්හරණය, පිරිසිදු ජලය, ආහාර" ආදියට මුහුණ දීමට බලය ලැබෙනු ඇත."

ඉතින් ඔබ සිතන්නේ වසර 30කින් ලෝකය කෙබඳු වනු ඇති ද?

ඔබේ පිළිතුරු කුමක් වුවත්, දශක තුනකට පෙර මහාචාර්ය හෝකින් Tomorrow's World වෙත පැවසූ දෙයට සවන් දීම නුවණට හුරු ය.

"මේ වෙනස්කම්වලින් සමහරක් හරි ම උද්වේගකරයි. ඒ වගේ ම සමහර ඒවා තැතිගන්වනසුලු යි. අපට නිසැකව කියන පුළුවන් එක දෙයක් තමයි, ඒක බොහෝ සෙයින් වෙනස් වේවි. බොහෝ විට අප බලාපොරොත්තු වන දේ නොවේවි."