කැනඩාවේ ෆෙඩ්රල් මැතිවරණයට තරග කරන්නේ කවුද? ඔවුන්ගේ දේශපාලන පසුබිම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වමේ සිට දකුණට: NDP නායක ජග්මීත් සිං, ලිබරල් නායක මාර්ක් කාර්නි, Bloc Québécois නායක ඊව්-ෆ්‍රංෂුවා බ්ලාන්ෂේ සහ කන්සවේටිව් නායක පියරේ පොයිලීවර්
    • Author, නදීන් යූසිෆ්
    • Role, බීබීසී, ටොරොන්ටෝ
  • කියවීමේ කාලය: මිනිත්තු 7

කැනඩා අග්‍රාමාත්‍ය සහ ලිබරල් නායක මාර්ක් කාර්නි මැතිවරණයක් කැඳවනු ලැබුවේ, මැතිවරණයට පෙර සති පහක මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමිනි.

නිල වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී ඇති දිනය අප්‍රේල් 28 වන සඳුදා ය.

දශකයකට පසු හිටපු අගමැති ජස්ටින් ටෲඩෝගේ නම ඡන්ද පත්‍රිකාවට ඇතුළත් නොවන පළමු මැතිවරණය මෙය වන අතර, කැනඩාවේ ප්‍රධාන පක්ෂ දෙක වන කොන්සර්වේටිව් සහ ලිබරල් - යන පක්ෂ ඡන්ද විමසීම්වල කරට කර තරග කරන බැවින්, මෙය නැරඹීමට වටින තියුණු තරගයක් බවට පත් කර ඇත.

කැනේඩියානුවන් අග්‍රාමාත්‍ය ධූරයට ඍජුව ම ඡන්දය නොදෙන අතර, වැඩි ම ආසන දිනා ගන්නා පක්ෂයේ නායකයා සාම්ප්‍රදායිකව රජයේ ප්‍රධානියා බවට පත්වනු ඇත.

කැනඩාවේ ප්‍රධාන පක්ෂවල නායකයින්ගේ විස්තර මෙසේ ය.

ලිබරල් පක්ෂයේ නායක මාර්ක් කාර්නි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිබරල් පක්ෂයේ නායක මාර්ක් කාර්නි

60 හැවිරිදි කාර්නි කැනඩාවේ වත්මන් අගමැති ධූරය හොබවන අතර ඔහු එම ධූරයට පත්ව තවමත් ගතව ඇත්තේ දින කිහිපයක් පමණි.

මෙම මස මුලදී ජස්ටින් ටෲඩෝගෙන් පසු ලිබරල් නායකයා ලෙස පක්ෂය ඔහුව - 85%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් - නායකත්වයට තෝරා ගත්තේ ය. ටෲඩෝගේ ඉල්ලා අස්වීමෙන් ටික කලකට පසු ඔහු අගමැති ධූරයට පත්විය.

කැනඩාවේ සහ එක්සත් රාජධානියේ බොහෝ දෙනෙකුට, කාර්නි යනු හුරුපුරුදු මුහුණකි. ඔහු කැනඩාවේ සහ එංගලන්තයේ මහ බැංකු දෙකෙහි ම ප්‍රධානියා ලෙස සේවය කර ඇති අතර, 2008 මූල්‍ය කඩා වැටීමේදී සහ බ්‍රෙක්සිට් අතරතුර එංගලන්ත මහ බැංකුවේ සේවය කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වයඹ දිග ප්‍රදේශවල ෆෝර්ට් ස්මිත්හි උපත ලැබූ ඔහු, උතුරෙන් පැමිණි පළමු කැනේඩියානු අගමැති බවට පත්විය. කාර්නි පසුව ඇල්බර්ටාහි එඩ්මන්ටන්හි හැදී වැඩුණු අතර, ඔහු හාර්වඩ් විශ්වවිද්‍යාලයට සහ පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වෙත ගොස් ආර්ථික විද්‍යාව හැදෑරීය.

කාර්නි සිය මූල්‍ය විශේෂඥතාව වෙනුවෙන් ප්‍රශංසාවට ලක් තිබේ. ඔහු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ද දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර, ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ප්‍රතිඥා දී ඇති අතර කැනඩාව කිසි විටෙකත් එක්සත් ජනපදයේ 51 වන රාජ්‍යය බවට පත් නොවන බවත් අවධාරණය කර ඇත.

නමුත්, කාර්නි දේශපාලනික වශයෙන් පරීක්ෂාවට භාජනය වී නොමැත. ඔහු කිසිදු අවස්ථාවක කැනඩා රජයේ තනතුරකට තේරී පත් වී නොමැති අතර, මෙම මහ මැතිවරණය ඔහුගේ පළමු මැතිවරණය වනු ඇත. ඔහුගේ ප්‍රංශ භාෂා හැකියාව ද දුර්වල ය. එය කැනඩාවේ ප්‍රංශ බස කතා කරන වැසියන්ගේ උරුමය සුරක්ෂිත කිරීම ගැන දැඩි ලෙස අවධානයක් යොමු වන විශේෂයෙන් කිබෙක් (Quebec) පළාතේ ඡන්දදායකයින් සලකන කරුණක් විය හැකි ය.

මෑත කාලීන මත විමසුම්වලින් පෙනී යන්නේ, ඔහුගේ පක්ෂය කොන්සර්වේටිව් පක්ෂයට වඩා තරමක් පසුපසින් සිටින බව ය. නමුත් බොහෝ කැනේඩියානුවන් පවසන්නේ, කාර්නි ඔහුගේ ප්‍රතිවාදියා වන පියරේ පොයිලීවර්ට වඩා හොඳ අග්‍රාමාත්‍යවරයෙකු වනු ඇතැයි තමන් සිතන බව ය.

කොන්සර්වේටිව් නායක පියරේ පොයිලීවර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොන්සර්වේටිව් නායක පියරේ පොයිලීවර්

45 හැවිරිදි පොයිලීවර් ඇල්බර්ටාහි කැල්ගරි ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු දශක දෙකකට ආසන්න කාලයක් පුරා කැනේඩියානු දේශපාලනයේ නියැලී සිටියි - වයස අවුරුදු 25 දී ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ ඔහු එවකට ළාබාලතම මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් විය.

එතැන් පටන්, ඔහු කැනඩාවේ අවම බදු සහිත කුඩා රජයක් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිට තිබේ. ඔහු ගැටුම්කාරී දේශපාලන ක්‍රමවේදයන් සඳහා ප්‍රසිද්ධ ය. මෑත වසරවලදී, පොයිලීවර් ලිබරල්වාදීන්ට සහ ටෲඩෝට දරුණු ලෙස ප්‍රහාර එල්ල කළ අතර, ඔවුන්ගේ "විනාශකාරී" සහ "ජනප්‍රිය නොවන" ප්‍රතිපත්ති කැනඩාවේ ජීවන තත්ත්වය නරක අතට හැරවූ බවත්, ඔහුගේ පක්ෂය රජයක් පිහිටුවන්නේ නම් "පොදු හැඟීම්සහගත දේශපාලනයට" නැවත පැමිණෙන බවටත් පොරොන්දු විය.

රටේ නිවාස අර්බුදය, එකතැන පල්වන වැටුප් සහ ඉහළ යන ජීවන වියදම ගැන කනස්සල්ලට පත්ව සිටින බොහෝ කැනේඩියානුවන්ට එය දෝංකාර දෙන්නා වූ පණිවුඩයකි. 2023 මැද භාගයේ සිට ජාතික මැතිවරණවලදී පොයිලීවර් පෙරමුණ ගෙන ඇති අතර, ඉදිරි මැතිවරණයේදී ඔහුගේ පක්ෂයට ආසන්න වශයෙන් නිශ්චිත ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබිණි.

නමුත්, ටෲඩෝගේ ඉල්ලා අස්වීමෙන් සහ ලිබරල් නායකයා ලෙස කාර්නිගේ නැගීමෙන් පසුව, ලිබරල් පක්ෂය එතැන් සිට පැවති ඡන්ද විමසීම්වලදී ඔහු අභිබවා ගොස් ඇත.

පොයිලීවර් ඔහුගේ ජනප්‍රියවාදී දේශපාලන විලාසය නිසා විවේචනයට ලක්ව ඇත. කැනේඩියානුවන් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ තීරුබදු පැනවීමේ තර්ජනය සහ කැනඩාව ඇමෙරිකාවේ "51 වන ප්‍රාන්තය" බවට පත් විය යුතු බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක ඔහුව ට්‍රම්ප් සමග සංසන්දනය කර ඇත.

එතැන් සිට පොයිලීවර් සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට උත්සහ කර ඇති අතර, ට්‍රම්ප්ගෙන් ඈත්ව "කැනඩාව පළමු තැන" තැබීමට පොරොන්දු වී ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ, පොයිලීවර් "ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට සුදුසු අයෙකු" නොවන බව ය. නමුත් ට්‍රම්ප්ගේ සගයෙකු මෙන් ම තාක්ෂණික ව්‍යවසායකයෙකු වන ඊලොන් මස්ක් කොන්සර්වේටිව් නායකයා ප්‍රශංසාවට ලක්කර ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: කැනඩාවේ හදිසි මැතිවරණය - දැන් මොක ද වෙන්නේ?

'Bloc Québécois' නායක ඊව් ෆ්‍රන්ෂුවා බ්ලන්ෂේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Bloc Québécois' නායක ඊව් ෆ්‍රන්ෂුවා බ්ලන්ෂේ

''Bloc Québécois' යනු ප්‍රංශ භාෂාව කතා කරන පළාතට පමණක් අපේක්ෂකයින් ඉදිරිපත් කරන කිබෙක් ජාතිකවාදී පක්ෂයකි, එනම් එහි නායකයාට කැනඩාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමට ඉඩක් නොමැත.

තවමත්, ඔවුන් කැනේඩියානු මැතිවරණවල ප්‍රධාන පාර්ශවයක් වන අතර, කිබෙක්හි ඔවුන්ගේ ජනප්‍රියතාව රජයක් පිහිටුවීමට අපේක්ෂා කරන අනෙකුත් ප්‍රධාන පක්ෂවල ඉරණම තීරණය කළ හැකි ය.

බ්ලන්ෂේ 2019 සිට පක්ෂයට නායකත්වය දෙයි. කැනඩාව ඇමෙරිකාවේ '51 වන ප්‍රාන්තය' යැයි ට්‍රම්ප් කළ ප්‍රකාශය 'විකාරයක්' ලෙස හඳුන්වන බ්ලන්ෂේ අවංක නායකයෙකු ලෙස ප්‍රසිද්ධ ය.

"ඇති තරම් විහිළු කතා," කියා තිබෙනවා යැයි මේ මස මුලදී මොන්ට්‍රියෙල්හි ට්‍රම්ප්ගේ තීරුබදු පිළිබඳ දේශනයකදී බ්ලන්ෂේ පැවසීය. "අපට අවශ්‍ය ඕනෑ ම දෙයක් කියන්න පුළුවන්, නමුත් ඒකෙන් අදහස් කරන්නෙ නැහැ අපිට අවශ්‍ය ඕනෑ ම දෙයක් කරන්න පුළුවන් කියලා."

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ පැවසීය: "මේක කරන්න එපා කියලා, පැසිපන්දු සහ බේස්බෝල් තරගයක් අතරතුර ඔහුගේ ගුවන් යානයේදී යමෙක් ඔහුට කියයි කියලා මට විශ්වාස යි, මොක ද ඒකෙන් ඔවුන්ට නරකක් වෙයි කියලා.. අවසානයේ , සාධාරණත්වයේ හඬ ජය ගනු ඇතැයි මට විශ්වාස යි."

දේශීය ගැටලු සම්බන්ධයෙන්, බ්ලන්ෂේ කිබෙක්හි වෙළෙඳ හවුල්කරුවන් විවිධාංගීකරණය කරන ලෙස බල කර ඇති අතර, තම පළාත රට විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රයට නිවහන වන බව සඳහන් කරමින් කැනඩාවේ ආර්ථික සැලසුම් මේසයේ ප්‍රමුඛ ස්ථානයක් ඉල්ලා තිබේ. - ඇලුමිනියම් නිෂ්පාදන එක්සත් ජනපද තීරුබදු මගින් ඉලක්ක කරගත් වෙළඳ භාණ්ඩයකි.

ඇමෙරිකා එක්සත් ජනපද-කැනඩා සබඳතා ස්ථාවර වුවහොත් ස්වාධීන කිබෙක් කලාපයක් සඳහා ඇති ආශාව "ආකර්ෂණීය ලෙස යළි නැගෙනු" ඇතැයි බ්ලන්ෂේ යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුවේ ආසන 33ක් සමග මැතිවරණයට යන බ්ලොක් පක්ෂය, කිබෙක්හි ලිබරල් පක්ෂයට වඩා පසුපසින් සිටින බව මත විමසුම්වලින් පෙනී යයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජග්මීත් සිං

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජග්මීත් සිං

46 හැවිරිදි සිං, සාම්ප්‍රදායිකව කම්කරු ක්ෂේත්‍රය හා කම්කරු ගැටලු කෙරෙහි අවධානය යොමු කරන වාමාංශික පක්ෂයක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (NDP) නායකයා වේ. ඔහු 2017 දී කැනඩාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයකට නායකත්වය දෙන පළමු වාර්ගික සුළුතර සහ සික් ජාතිකයා බවට පත්වෙමින් ඉතිහාසගත විය.

හිටපු අපරාධ නීතිඥවරයෙකු වන ඔහු 2019 දී, බ්‍රිටිෂ් කොලොම්බියාහි ආසනයක් දිනා ගනිමින් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ අතර, එතැන් සිට ඔහු එහි රජයේ තනතුරක සේවය කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා දන්ත වෛද්‍ය ප්‍රතිලාභ සහ උපත් පාලනය සහ ඉන්සියුලින් ආවරණය වන ජාතික ඖෂධ ආරක්ෂණ වැඩසටහනක් වැනි ප්‍රගතිශීලී නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ඡන්ද ලබා දෙමින්, 2021 සිට ටෲඩෝගේ ලිබරල් රජයට බලය අල්ලාගෙන සිටීමට NDP පක්ෂය සහය ලබා දී තිබේ.

නමුත් 2024 අගභාගයේදී, සේවක විරෝධයක් හේතුවෙන් වැඩ නතර කර තිබූ කැනඩාවේ විශාලතම දුම්රිය මාර්ග දෙකෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නතර කිරීම සඳහා බැඳීම් සහිත බේරුම්කරණයක් පැනවීමට ටෲඩෝගේ කැබිනට් මණ්ඩලය සිය කාර්මික සබඳතා මණ්ඩලයට නියෝග කිරීමෙන් පසුව, සිං ආණ්ඩුවට සහය දැක්වීමේ "සැපයුම් සහ විශ්වාසය" පිළිබඳ ගිවිසුම ඉරා දැමීය.

ඒ අවස්ථාවේදී සිං පවසා තිබුණේ, ලිබරල්වාදීන් "මිනිසුන්ව කලකිරීමට පත් කළ" බවත් "කැනේඩියානුවන්ගෙන් තවත් අවස්ථාවක් ලැබීමට සුදුසු නැති" බවත් ය.

එහෙත් ඔහුගේ පක්ෂය ජනතා සහයෝගය ලබා ගැනීමේ අරගලයක පසුවෙයි. මත විමසුම්වලින් පෙනී යන්නේ මාර්තු මැද වන විට කැනේඩියානුවන්ගෙන් 9% ක් පමණක් ඔවුන්ට ඡන්දය දීමට අදහස් කරන බවයි, ඔවුන්ගේ ඡන්ද පදනම හැකිලෙමින් පවතින අතර ලිබරල්වාදීන්ට ලැබෙන සහයෝගය ඉහළ ගොස් තිබේ.

විශාල ම ප්‍රශ්නයක් වනු ඇත්තේ NDP පක්ෂයට පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන සංඛ්‍යාව වැඩි කර ගැනීමට සහ නිල පක්ෂයක් ලෙස පවත්වා ගැනීමට හැකි වේ ද? යන්න ය.

2010 දශකයේ මුල් භාගයේදී, නිල විපක්ෂය පිහිටුවීමට පක්ෂයට ප්‍රමාණවත් සහයෝගයක් තිබිණි, එනම් එය පාර්ලිමේන්තුවේ දෙවන වැඩි ම ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂය විය. 2021 වන විට, ඔවුන්ගේ ආසන සංඛ්‍යාව 338 න් 24 දක්වා පහත වැටී තිබිණි.