බර්ලින් ප්‍රහාරකයාගේ ඥාති පුත්‍රයෙකු අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අනිස් අම්රි ලෙස හඳුනා ගෙන ඇති පුද්ගලයාගේ ඡායාරූපයක්

ජර්මනියේ බර්ලින් අගනුවර වෙළඳපොළක් වෙත ට්‍රක් රථයක් ධාවනය කළ ප්‍රහාරකයාගේ ඥාති පුත්‍රයෙකු ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙකු ටියුනීසියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව බලධාරීහු පවසති.

ටියුනීසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය කියා සිටියේ අවුරුදු 18 ත් 27 ත් අතර වයසේ පසුවන සැකකරුවන් තිදෙනා 'කුඩා ත්‍රස්ත කල්ලියක' සාමාජිකයන් බවය.

බර්ලිනයේ නත්තල් වෙළඳපොළක් වෙත රිය ධාවනය කළ විසි හතර හැවිරිදි අනිස් අම්රි ටියුනීසියාවේ උපත ලද අයෙකි.

ඉතාලියේ මිලානෝ නුවරට ආසන්න ප්‍රදේශයකදී සිකුරාදා සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් ඔහු ඝාතනය විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් මරුමුවට පත් පුද්ගලයන් අනුස්මරණය කිරීම සඳහා තබා ඇති මල් කළඹක්

ට්‍රක් රථයක් යොදා ගනිමින් පසුගිය සඳුදා එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් වූ අතර තවත් හතළිස් නව දෙනෙක් තුවාල ලැබූහ.

සිය අන්තවාදී දෘෂ්ටිවාදයට අනුගත වීම සඳහා අම්රි තම ඥාති පුත්‍රයා දිරි ගන්වා ඇති බව ටියුනීසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසීය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් කැපවන බවට අම්රි විසින් සිය ඥාති පුත්‍රයා ගිවිස්සා ගනු ලැබ ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.