ශ්‍රී ලංකාවේ උපන් සිංහ පැටියෙකුට කිරි දී සරණ වූ සුනඛ මව

කියවීමේ කාලය: මිනිත්තු 4

සිංහයෙකු නිවෙසක ඇති දැඩි කිරීම අපට සාමාන්‍යයෙන් ඇසෙන පුවතක් නොවේ. කෙසේ නමුත්, 2014 වසරේදී නිවසක සති 3ක පමණ කාලයක් ඇති දැඩි වූ සිංහ පැටවෙකු පිළිබඳ පුවතක් මොරටුවෙන් වාර්තා විය.

2014 වසරේදී මෙම සිදුවීම ගැන මාධ්‍යයෙන් යම් හෙළිදරව්වක් සිදුකළත්, මේ පිළිබඳ තොරතුරු රහසක්ව තබා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙන් ම, සිංහයා බලා කියා ගත් මොරටුව පදිංචි හේෂාන් මෙන්ඩිස් කටයුතු කර තිබිණි. සත්වයාට නිදහසේ හැදී වැඩීමට අවකාශය ලබාදීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

පසුගිය සතියේ සතුන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් හේෂාන් මෙන්ඩිස් ප්‍රථම වරට සිය නිවසේ ඇති කළ සිංහ පැටවා ගැන තොරතුරු හෙළි කළේ ය. සුනඛ මවක් සහ සිංහ පැටියෙකු අතර ඇති වූ එම අපූරු ගනුදෙනුව ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට බීබීසී සිංහල සේවය හේෂාන් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගත්තේ ය.

"දෙහිවල සත්තු වත්තේ සිංහ අම්ම කෙනෙකුට පැටව් හතර දෙනෙකු හම්බ වුණා. නමුත් ප්‍රශ්නය වුණේ, සිංහ අම්මා පැටවුන්ට කිරි දෙන එක ප්‍රතික්ෂේප කිරීම යි. ඒ නිසා පැටව් තුන් දෙනෙක් ටික වෙලාවක් ඇතුළත මැරුණා."

"එක පැටියෙක් විතරක් බේරගන්න පුළුවන් වුණා. එයාට මැරෙන්න නොදී බේරා ගන්න ඕනෙ නිසා විකල්පයක් ලෙස කිරි දෙන්න පුළුවන් බල්ලෙක් හෙව්වා. එතකොට මගේ බල්ලා "ෂෙලී" පැටව් දාලා දවස් 6 යි. කොහොම හරි ඒගොල්ලෝ මාව සම්බන්ධ කර ගත්තා" යැයි හේෂාන් පැවසීය.

මේ තොරතුරු ද කියවන්න:

සිංහ පැටියා බලු පැටව් සමග

සිංහයෙකු නිවසක තබා ගැනීම නීතියෙන් තහනම් වූ ක්‍රියාවක් හේතුවෙන් මෙම ඉල්ලීමට මුලින් කැමැත්තක් නොදැක්වූවත්, එවැනි ගැටලුවක් ඇති නොවන බවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බලධාරීන් තහවුරු කළ පසු සිංහ පැටවා සිය භාරයට ගත් බව හේෂාන් පැවසුවේය.

"එදා රෑ 7ට විතර සිංහ පැටියව අපේ ගෙදරට ගෙනාවා. එතකොටත් එයා ගොඩක් දුර්වල තත්ත්වයක හිටියේ. අනික සිංහ පැටියාට පොඩි කාලයේ තිබුණේ පූසෙකුගේ පෙනුමක්. ඒක නිසා, මගේ බල්ලා ෂෙලී මේ පැටියට අනතුරක් කරයි කියලා බය හිතුණා"

"සිංහ පැටියා ගොඩක් දුර්වල වෙලා හිටිය නිසා අපිට ඕන වුණේ කොහොමහරි මගේ බල්ලගෙන් කිරි ටිකක් දෙන්න"

"විවිධ ක්‍රම අත්හදා බලලා අවසානයේ පාන්දර 2කට විතර ෂෙලී කිරි දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට තිබුණු බය තමයි ෂෙලී කොයි වෙලාවේ හරි මේ පැටියට අනතුරක් කරයි කියලා"

"නමුත්, පාන්දර 3 විතර වෙනකොට ෂෙලී සිංහ පැටියව එයාගෙ ම පැටියෙක් වගේ ලෙව කාලා හුරතල් කරන්න ගත්තා," හේෂාන් විස්තර කළේ ය.

එලෙස සුනඛ මවත් සමග මිතුරු වූ සිංහ පැටවා, සෙසු බලු පැටව් සමග එකට සුරතල් වෙමින්, කිරි බොමින්, කෙළිදෙළෙන් කාලය ගෙවන ආකාරය හේෂාන් මෙන්ඩිස් රූගත කළ වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ.

"සිංහ පැටියෙක් කියලා වෙනසක් තිබුණේ නැහැ, සිංහ පැටියා බලු පැටව් එක්ක එකතු වෙලා හිටියා. පොඩි පොඩි වෙනස්කම් තිබුණා. බලු පැටව් සීතල හොයාගෙන යනකොට සිංහ පැටියා හොයාගෙන ගියේ ම උණුසුම් තැන්."

"මේ පැටියා කිසි ම වේලාවක දිව්වේ නැහැ, හැබැයි ගෙදර සහ මිදුලේ හැම තැන ම ඇවිද්දා."

මෙම සිංහ පැටවා නිවසේ සිටින සියලු දෙනා සමග ම සුරතල් වෙමින් සිටින ආකාරය හේෂාන් අපට දුන් ඡායාරූපවල දක්නට හැකි ය.

මෙලෙස සති තුනක් මොරටුව පිහිටි හේෂාන්ගේ නිවසේ ඇති දැඩි වූ සිංහ පැටවා, නැවතත් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාර දී ඇත. ඒ වන විට සිංහ පැටවාට අවශ්‍ය ආහාර ආනයනය කිරීමට දෙහිවල සත්වෝද්‍යානය කටයුතු කර තිබිණි.

"පැටියා නැවත භාර දෙනකොට ඇත්තට ම ගොඩක් දුක හිතුණා. ෂෙලී දවස් දෙකක් කෑම කෑවේත් නැහැ. මීට කලින් අපි ෂෙලීගේ පැටව් එළියට දීලා තියෙනවා, එතකොටවත් ෂෙලී මෙහෙම හැසිරුණේ නැහැ. මේ බැඳීම හරි පුදුම දෙයක්."

"පෞද්ගලිකව සිංහයා මගේ ආස ම සතා. නමුත් මම හීනෙකින් වත් හිතුවේ නැහැ මට සිංහයෙක් ඇති කරන්න ලැබෙයි කියලා. ඒ සති තුන තමයි මගේ ජීවිතයේ දුෂ්කර ම වගේ ම සතුටු ම සති තුන. පැය දෙකෙන් දෙකට කිරි දෙන්න සලස්වන්න ඕනේ නිසා දවසකට නිදා ගත්තේ පැය 2යි." හේෂාන් තවදුරටත් පැවසීය.

දැන් ඒ සිංහ පැටියා සිටින්නේ කොහේද?

2014දී දෙහිවල සත්වෝද්‍යානයට නැවත භාර දුන් සිංහ පැටවා දැන් අවුරුදු හතරක හොඳින් වැඩුණු කේසර සිංහයෙකි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මෙම සිංහයා වසර 2කට පෙර රිදියගම සෆාරි උද්‍යානයට මාරු කර යවා තිබේ. දෙහිවල සත්වෝද්‍යානයේ මෙන් කූඩුවක සිර නොවී තවත් සිංහයන් පිරිසක් සමග එළිමහනේ අක්කර කීපයක භූමියක නිදහසේ සැරිසැරීමට මෙම සිංහයාට දැන් හැකිවී තිබේ.

"සිංහයා දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්න කොට මම ගිහින් බැලුවා. හැබැයි රිදියගම ගියා ම දුර වැඩි නිසා මට නිතර බලන්න යන්න බැරි වුණා. එයාට අවුරුදු දෙකක් පිරෙන කාලයේ රිදියගම ගිහින් බැලුවා ම මම දුටුවේ හොඳට වැඩුණු සිංහයෙක්."

"මට එයාව ළඟට ගිහින් බලන්න ඕනේ වුණ නිසා, නිලධාරීන් එයාව කූඩුවකට ගෙනාව. මම හිතුවා එයා මාව අඳුර ගනීවි කියලා. මම බය නැතුව ළඟට ගිහිල්ලා අත ගානකොට එයා ආදරෙන් බලන් හිටිය. එයා හොඳට මාව අඳුර ගත්තා. මට තිබුණේ තවත් බල්ලෙක් අතගානවා වගේ හැඟීමක්" යැයි හේෂාන් පැවසුවේය.

තමන් කිරි දුන් සිංහ පැටවා දැක බලා ගැනීමට සුනඛ මවට අවස්ථාවක් හිමි නොවූයේදැයි අප විමසූ විට හේෂාන් පැවසුවේ කරණා කීපයක් මත එය සිදු නොවූ බව ය.

"ඇත්තට ම සත්තු ගොඩක් ඉන්න තැනකට ගියා ම ෂෙලීට සෞඛ්‍ය ගැටලු මතු වෙන්න පුළුවන්. අනික සත්තු වත්තට බල්ලෙක් අරන් යන එක ලේසි නැහැ. මේ හේතු උඩ ඒ දේ සිද්ධ වුණේ නැහැ."

"හැබැයි මම හිතනවා එහෙම හමුවීමක් සිදුවුණොත් දෙන්නට දෙන්න අඳුර ගනීවි කියලා," මෙම අපූරු බැඳීම ගැන අදහස් දක්වමින් හේෂාන් තවදුරටත් පැවසීය.

තවත් තොරතුරු: