ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයේ මිසයිලවලට යුරෝපයට ළඟා විය හැකි ද?
- Author, නික් එරික්සන්
- Role, බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉන්දියානු සාගරයේ දියෙගෝ ගාර්සියා දූපතේ පිහිටි එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා කඳවුර දෙසට ටෙහෙරානය දිගු දුර බැලස්ටික් මිසයිල දියත් කිරීම මැද පෙරදිග ගැටුමේ පැහැදිලි උත්සන්න වීමකි.
අපේක්ෂිත ඉලක්කවලට ප්‍රහාර එල්ල නොවූ නමුත් යුද්ධය ආරම්භ වූ පසු එවැනි දිගු දුර මිසයිල භාවිත කළ පළමු අවස්ථාව මෙය බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසා තිබේ.
ටෙහෙරානය තවමත් මිසයිල එල්ල කිරීම නිල වශයෙන් තහවුරු කර නොමැති අතර ඉරාන මාධ්‍ය ඔවුන්ගේ වාර්තාකරණයේදී විදේශීය මාධ්‍ය උපුටා දක්වා ඇත.
අසාර්ථක ප්‍රහාරයෙන් ඇඟවෙන කරුණු, එනම් පුළුල් පරාසයක විභව ඉලක්ක සඳහා මෙයින් අදහස් කළ හැකි දේ ඇතුළුව විශේෂඥයින් දැන් සලකා බලමින් සිටිති. උදාහරණයක් ලෙස, බර්ලින්, පැරිස් සහ ලන්ඩන් ඇතුළු යුරෝපීය අගනගර අනාගතයේදී ඉලක්ක කළ හැකි ද?
ලන්ඩනය වෙත ළඟා විය හැකි දිගු දුර මිසයිල ඉරානය සතුව පවතින බවට ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව කළ ප්‍රකාශය තහවුරු කිරීමට කිසිදු තක්සේරුවක් නොමැති බව එක්සත් රාජධානියේ කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර තිබිණි.
"ඉරානයේ මිසයිල වැඩසටහන දීර්ඝ කාලයක් පුරාවට ජාත්‍යන්තරයේ සියුම් පරීක්ෂාවට ලක්වූ කරුණක්," යනුවෙන් බීබීසී පර්සියානු සේවයේ ගොන්චේ හබිබියාසාද් පවසයි. "සිය මිසයිල සංවර්ධන වැඩසටහන හුදෙක් ම ආරක්ෂක අරමුණු සඳහා සහ ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් මත මුල් බැස ගෙන ඇති බව ටෙහෙරානය අවධාරණය කළත්, විවේචකයින් තර්ක කරන්නේ ඔවුන්ගේ දිගු දුර මිසයිල හැකියා දියුණු වීම කලාපීය ආරක්ෂක ගමන් මග වෙනස් කරන්න පුළුවන් බව යි."
ටෙහෙරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් පිළිබඳ ගැටලු විසඳීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවලට මාසයක් ගත වී ඇති අතර, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඔවුන්ගේ ප්‍රහාරය දියත් කරන විට තවත් වට කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
දියෙගෝ ගාර්සියාහි කොටසක් වන චාගෝස් දූපත් ඉරානයේ සිට කිලෝමීටර් 3,800ක් පමණ දුරින් පිහිටා ඇත.
වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ CNN පුවත් සේවාව නම් සඳහන් නොකළ එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ වාර්තා කළ නමුත් එම ආයුධ දෙකෙන් එකක් හෝ ඉලක්කය වෙත ළඟා නොවූ බව ප්‍රකාශ කළේ ය.
මිසයිලවලින් එකක් ගුවනේදී ම අසාර්ථක වූ බව වාර්තා වන අතර අනෙක ඇමෙරිකානු යුද නෞකාවක් විසින් ව්‍යාර්ථ කරනු ලැබ තිබේ. එම වාර්තා නිරවද්‍ය බව බීබීසී පුවත් සේවය විශ්වාස කරයි.
මෙම සිදුවීම වාර්තා වූ සැණින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ, යුරෝපයේ, ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ නගර දැන් අවදානමක පවතින බව සහ එවැනි හැකියාවන් සහිත මිසයිල නිපදවීමට ටෙහෙරානය බලාපොරොත්තුවෙන් පසුවූ බව ඔවුන් පසුගිය වසරේදී අනාවරණ කළ බව ය.
චාගෝස් දූපත් දෙසට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ඉයාල් සමීර් දැඩි අනතුරු ඇඟවීමක් ද සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කළේ ය. "ඉරානය කිලෝමීටර් 4,000ක පරාසයක් සහිත අදියර දෙකක අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කළා."
"මිසයිල ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට අදහස් කළ ඒවා නොවේ," ඔහු පැවසීය. "ඒවායේ පරාසය යුරෝපයේ අගනුවරවල් දක්වා විහිදෙනවා. බර්ලින්, පැරිස් සහ රෝමය යන සියල්ල තිබෙන්නේ ඍජු තර්ජන පරාසය තුළ යි."
ආරක්ෂක විශේෂඥයෙකු සහ එක්සත් රාජධානියේ හිටපු ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරල් ශ්‍රීමත් රිචර්ඩ් බැරන්ස් ඇතුළු තවත් පිරිසක් බීබීසීය වෙත පවසා ඇත්තේ, මෙම සියල්ල හමුවේ ඉරානයේ මිසයිල තොග සහ ඒවා ඉලක්ක වෙත ළඟාවීම නැවත තක්සේරු කිරීමට සිදුව ඇති බව ය.
"මීට කලින් අපි හිතාගෙන හිටියේ ඉරානයේ මිසයිලවල පරාසය කිලෝමීටර් 2000ක් කියලා. දියෙගෝ ගාර්සියා දූපතට දුර කිලෝමීටර් 3800ක්."
ඉරානය මේ දක්වා ප්‍රකාශ කර තිබුණේ, පරාසය සැතපුම් 1,240කට (කිලෝමීටර් 2,000කට) සීමා කරමින් ඔවුන්ගේ බැලස්ටික් මිසයිල වැඩසටහන මත ඔවුන් ම පැනවූ සීමාවක් පනවා තිබූ බව ය. මෙයින් අදහස් කෙරුණේ, ඊශ්‍රායලය ඉරාන මිසයිලවල ප්‍රහාරක සීමාව තුළ පැවති නමුත් යුරෝපය එම සීමාවේ නොමැති බව ය.
එය මිසයිල නිෂ්පාදනය කිරීමේ තාක්ෂණික සීමාවන් නිසා නොව හමුදා නායකයින්ගේ සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ විරෝධය හමුවේ සිදු කරන ලද දේශපාලන තේරීමක් වූ බව ඉරානයේ හිටපු උත්තරීතර නායක මියගිය අයතුල්ලා අලි කමේනි 2021දී පැවසුවේ ය.
යුරෝපය ටෙහෙරානයේ ඉලක්කයක් නොවූ බැවින්, තර්ජනය ඊශ්‍රායලය වෙත යොමු කර තබා ගැනීමට ඔහුට අවශ්‍ය විය.
කෙසේ වෙතත්, ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව, ඉරාන මන්ත්‍රීවරයෙකු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රාජ්‍ය රූපවාහිනියට පැවසූ නමුත් ඔහු මිසයිලයේ පරාසය පිළිබඳ විස්තර නොකළේ ය.
මිසයිල පරාස හැකියාවන්
ඊට අමතරව, ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත්පතට අනුව, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල තැනීමට අවශ්‍ය තාක්ෂණයන් සංවර්ධනය කිරීමට ඉරානයේ අභ්‍යවකාශ වැඩසටහන උපකාරී වන්නට ඇති බවත්, අවශ්‍ය නම් මෙම තාක්ෂණය භාවිත කළ හැකි බවත් එක්සත් ජනපද නිලධාරීහු දිගු කලක් තිස්සේ කියා සිටියහ.
ඇතැම් විශ්ලේෂකයෝ එයට එකඟ වෙති. ලන්ඩනයේ රෝයල් යුනයිටඩ් සර්විසස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කරින් වොන් හිපල් බීබීසී පුවත් සේවය වෙත පැවසුවේ, "මිසයිල දියෙගෝ ගාර්සියා වෙත ළඟා වුණා කියලා උපකල්පනය කළොත්.. ඉරානය කිලෝමීටර 10,000ක් දක්වා ළඟා වෙන්න පුළුවන් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ද සංවර්ධනය කරමින් සිටියත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය අපි තාම දැකලා නැහැ."
මෙයින් අදහස් කෙරෙන්නේ, ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල එක්සත් ජනපදය පිහිටි මහද්වීපයට ළඟා විය හැකි බව ය.
ඒ අනුව, නිරීක්ෂකයින් පවසන්නේ, ඉන්දියන් සාගරයට එල්ල කළ මෙම ප්‍රහාරය මගින් පෙන්නුම් කෙරෙන්නේ තවදුරටත් සීමා නොමැති බව යන්න ය.
නමුත් ඇතැමුන් පවසන්නේ, මිසයිල උඩු ගුවනේදී විනාශ නොකෙරුවත්, ඒවායේ අපේක්ෂිත ඉලක්කයට ළඟා විය හැකි ද යන්න පැහැදිලි නැති බව ය.
"ඉරාන ජාතිකයන් එක්සත් රාජධානිය ඉලක්ක කරන බව හෝ ඔවුන්ට අවශ්‍යතාවක් පවතින්නේ නම් එය කළ හැකි බවට නිශ්චිත තක්සේරුවක් නැහැ," එක්සත් රාජධානියේ නිවාස අමාත්‍ය ස්ටීව් රීඩ් බීබීසීය වෙත පැවසුවේ ය.
ප්‍රශ්නය වන්නේ දිගු දුරක් පුරා මිසයිල පාලනය කිරීම සහ මෙහෙයවීම ඇතුළුව දිගු දුර ප්‍රහාර සිදු කිරීමට අවශ්‍ය මෙහෙයුම් තාක්‍ෂණය ඉරානය ප්‍රගුණ කර තිබේ ද යන්නයි.
එමෙන් ම මෙහි මනෝවිද්‍යාත්මක පැතිකඩක් ද පෙනෙන්නට තිබේ.
ඇතැමුන් විශ්වාස කරන්නේ ඉරානය ඉලක්ක වෙත පහර දීමට අදහස් නොකළ බවත්, ඒ වෙනුවට අනතුරු ඇඟවීමේ සහ වැළැක්වීමේ පැහැදිලි පණිවිඩයක් යැවූ බවත් ය.
"ඔවුන් හෙට ලන්ඩනයට හෝ පැරීසියට පහර දෙයි කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන්ට එල්ල වෙන ප්‍රහාර වැළැක්වීම ගොඩනැගීමට හැකියාව ලබා දෙන තවත් අංගයක් බව යි," ටෙල් අවිව් පදනම් කර ගත් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ දැනට සේවයේ නියුතු හිටපු ඊශ්‍රායල් හමුදා බුද්ධි නිලධාරියෙකු වන ඩැනී සිට්‍රිනොවිච් ලන්ඩනයේදී ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට පැවසීය.
මේ සතියේ ඉන්දියන් සාගරයේ සිදුවීම්වලට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය එක්සත්කම සඳහා වන කැඳවීමක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය.