2020 දින දර්ශනය කැමරා ඇසින්: දුෂ්කර වසරක මාසික මතක සටහන්

2019 වසරේදී ලෝකය එළඹීමට නියමිත අලුත් දශකය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටියා මතකද?

එහෙත් බලාපොරොත්තු වූ ආකාරයටම කටයුතු සිදු නොවිණි. ලොවටම මරු පහරක් වූ කොරෝනා වෛරසය නිසා මේ වසරේ වැඩි කාලයක් ගෙවී ගියේ දුක් සෝ සුසුම් මැදිනි.

එහෙත් 2020 සෑම මසකම කැමරාවට හසු වූ මේ ඡායාරූප අනුව ගතව යන වසර සුන්දරත්වය, හාස්‍ය රසය සහ ඔරොත්තු දීමේ හැකියාව උරඟා බැලුණු වසරක් ද විය.

ජනවාරි

මාරක වෛරසයක් චීනයෙන් මතු වුණු අතර ඒ පිළිබඳ දැන සිටියේ ඉතාමත් සුළු වශයෙනි. නිසි ආරක්‍ෂිත උපකරණ සහ උපාංග නොමැතිකම නිසා ඇතැම් පුද්ගලයෝ එදිනෙදා වෙනත් උවමනා සඳහා භාවිත කරන දෑ විකල්ප වශයෙන් යොදා ගත්හ.

පෙබරවාරි

'සුපිරි සඳේ' (Supermoon) දර්ශන ලොව පුරා ජනයා මෝහනයට පත් කිරීමට සමත් විය. තාරකා විද්‍යාව ආශ්‍රිත වසරේ සුවිශේෂී සිදුවීමක් වූ 'සුපිරි සඳ' 16 වෙනි ශතවර්ෂයට අයත් තුර්කියේ 'සෙලිමියේ' පල්ලිය අසලින් දර්ශනය වූයේ මෙලෙසය.

මාර්තු

කොරෝනා වෛරසය නිසා පනවන ලද සීමා හමුවේ අප බොහෝ දෙනෙකු 2020 වසරේ වැඩි කාලයක් යහළු මිත්‍රයන් සමග කතාබහ, රැකියා, බඩු මිලට ගැනීම මෙන්ම හොංකොං හි මේ ගුරුවරයා මෙන් සිය සිසු දූ දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කරනු ලැබුවේ ද අන්තර්ජාලය ඔස්සේය.

අප්‍රේල්

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහාවූ පියවර සීමාවක් නොමැතිව නිර්මාණාත්මක අදහස් බිහිවීමට හේතු විය. එක්සත් ජනපදයේ වෙසෙන රෝමානු කතෝලික පූජකවරයෙකු සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සිය බැතිමතුන්ට ශුද්ධ පැන් ලබා දී ආශීර්වාද එක් කිරීමට ජලය විදින 'සෙල්ලම් පිස්තෝලයක්' යොදා ගන්නා අයුරු.

මැයි

එක්සත් ජනපද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ජාතිවාදය සහ පොලිසියේ කෘරත්වයට එරෙහි හඬ නගන ගෝලීය මට්ටමේ මහා ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. ඇමරිකාව පුරා උද්ඝෝෂණ පැතිර ගිය අතර මේ ඒ වෙනුවෙන් කැලිෆෝනියාවේ පැවති විරෝධතාවකි.

ජුනි

පළමු ලොක්ඩවුන් වටයේදී යළි විවෘත කිරීමේ අපේක්ෂාවෙන් බාසිලෝනා හි 'Gran Teatre del Liceu' ඔපෙරාගාරය දෙදහසකට අධික ශාකවලින් සමන්විත ප්‍රේක්ෂකාගාරය වෙත සංගීතය සැපයීය. දුෂ්කර අවදියකදී කලාවේ වැදගත්කම අවධානයට ලක් කිරීමට ඔවුහු උත්සාහ කළහ.

ජුලි

සිය වගා බිම කරා පැමිණෙන පළඟැටි සමූහයා දෙස අසරණව බලා සිටින කෙන්යානු කාන්තාවකි මේ. ඉරානය, පාකිස්තානය සහ ඉන්දියාව පුරා වගාබිම් විනාශ කළ කෘමි විශේෂය අනතුරුව නැගෙනහිර අප්‍රිකාව දක්වා ව්‍යාප්ත විය.

අගෝස්තු

ඉතිහාසයේ දක්නට ලැබුණු න්‍යෂ්ටික නොවන මහා පිපිරුමකින් ලෙබනනයේ බේරූට් වරාය සුණුවිසුනු විය. දෙසීයකට අධික සංඛ්‍යාවක් මරණයට පත් වූ අතර දහස් ගණනක් තුවාල ලැබීය. පියානෝ වාදකයෙකු වන රේමන්ඩ් එසායන්ගේ මොලය කම්පනයකට ලක්ව තිබුණු අතර ඔහුට උන්හිටි තැන් අහිමි විය.

සැප්තැම්බර්

බ්‍රසීලයේ ඇමසන් වනයේ දශකයක් තුළ පැවති බරපතලම ලැව් ගිනි පරිසරවේදීන් සහ සංරක්ෂණ කණ්ඩායම්වල අවධානයට ලක් විය. මේ දිවියා ගින්නෙන් දිවි ගලවා ගත්ත ද පාද පිලිස්සී තිබිණි.

ඔක්තෝම්බර්

කොරෝනා වෛරස් ආසාදිතයන් වරින්වර පහළ යාම සහ ඉහළ යාම හමුවේ ලොව රටවල් ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම සහ තර කිරීම අතර පොරයක යෙදී සිටියහ. කොරෝනා වෛරසය නිසා අනාගතය අවිනිශ්චිත බව බොහෝ ව්‍යාපාර පවසති. ඉතාලියේ අගනුවර රෝමයේ පිහිටි අවන්හලක් සිය ව්‍යාපාරය පරිහානියට යමින් තිබෙන බව හැඟ වීම සඳහා ආහාර ගනිමින් සිටින බව දැක්වෙන ඇට සැකිල්ලක් යොදා ගෙන තිබිණි.

නොවැම්බර්

මිත්‍රී චිටිනුන්ඩා තායිලන්ත රජ පවුල වෙනුවෙන් දැඩිව පෙනී සිටියෙකි. නමුත් මේ වසරේදී එරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ රජ පවුල සම්බන්ධයෙන් සීමා පනවන ලෙස ඉල්ලා දියත් වූ පෙර නොවූ විරූ ආකාරයේ උද්ඝෝෂණත් සමග මිත්‍රී පැති මාරු කළේය. දැන් ඔහුගේ හිස කෙස් කපා ඇත්තේ ඇඟිලි තුනක් යොදා ගනිමින් කෙරෙන සංඥාවක් ප්‍රදර්ශනය වන පරිදිය. එය තායිලන්තය පුරා විරෝධතාකරුවන් යොදා ගන්නා අතර එම සංඥාව 'හන්ගර් ගේම්ස්' (Hunger Games) වෙතින් උකහා ගත්තකි.

දෙසැම්බර්

ලෝකය කොරෝනා වෛරසයෙන් බැට කමින් සිටිය ද අභ්‍යවකාශ තරණය සඳහා වූ තරගය තවදුරටත් ක්‍රියාත්මකය. චීනය, මානව ඉතිහසයේ සඳ මත සිය ධජය රැඳවූ දෙවෙනි රට බවට පත් විය. වසර 44 පසු, සඳේ පාෂාණ සාම්පල පෘථිවිය වෙත රැගෙන ඒමට මෙහෙයුම සමත් විය.

සියලුම ඡායාරූප හිමිකම් ඇවිරිණි.