ජර්මනිය: සත්වෝද්‍යාන ‘වඳුරු නිවසේ’ ගින්නෙන් බොහෝ සතුන් මිය ගිහින්

ජර්මනියේ සත්වෝද්‍යානයක වඳුරන් රඳවා සිටි ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නකින් එහි සිටි සියලුම පාහේ සතුන් මිය ගිය බව බලධාරීහු තහවුරු කළහ.

"අපිට තිබුණ ලොකුම බය දැන් ඇත්තක් වෙලා තිබෙනවා," සත්වෝද්‍යාන බලධාරීහු පැවසූහ.

Krefeld සත්වෝද්‍යානය පවසන්නේ, "ගොඩනැගිල්ල ගිනිගෙන බිමට සමතලා වී ඇති අකාරය," දැකීමෙන් එහි සේවකයන් කම්පනයට පත් වූ බවය.

වර්ග අඩි 6,500ක් විශාල මෙම ගොඩනැගිල්ල තුළ දුර්ලභ ගණයේ ඔරංඋටන්, චිපන්සී සහ මාමොසෙට්ස් ඇතුළු විවිධ වඳුරන් වර්ග විශාල ප්‍රමාණයක් රඳවා සිටියහ.

එම ගොඩනැගිල්ලේ සිටි සියලුම සතුන් මියගොස් ඇතැයි සත්වෝද්‍යාන බලධාරීහු මුලින් සඳහන් කළ නමුත්, චිම්පන්සින් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති බව පසුව පැවසූහ.

නව වසර උදාව වෙනුවෙන් දැල් වූ තහනම් ගිනිකෙළි විශේෂයක් හේතුවෙන් මේ ගින්න හටගන්නට ඉඩ තිබෙන බව පොලිසිය පවසයි.

නමුත්, ගින්නට හේතුව තවමත් තහවුරු වී නොමැත.

සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ගේ නිවස වෙන් කර තිබූ නිසා, සිය පවුල සමඟ එහි දිවි ගෙවන 'Kidogo' නම් ගෝරිල්ලාට ද හානි සිදුව නොමැති බව Krefeld බලධාරීන් පවසති.

1975 දී ගොඩනැගූ මෙම වඳුරන්ගේ නිවස වැසි වනාන්තරවල පවතින වැඩි උෂ්ණත්වයට සරිලන සේ නිම කර තිබූ අතර, වවුලන්, කුරුල්ලන් සහ වඳුරන් ඒ තුළ නිදහසේ සැරි සැරූහ.

ජනතාව "විවිධාකාරයෙන් ආධාර කිරීමට ඉදිරිපත් වීම" ගැන සත්වෝද්‍යානය සිය ස්තුතිය පළ කර තිබේ.

"අපිට ඔබ වෙනුවෙන් අද පෙනී සිටින්න බැරි වීම ගැන ඔබ වටහා ගනු ඇතියි අපි සිතනවා," සත්වෝද්‍යානය නව වසරේ පළමු දින වසා දැමීමට ගත් තීරණයේ එසේ සඳහන් කර තිබිණි.

මේ තොරතුරුද කියවන්න: