ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
- Author, ඉම්රාන් කුරේෂි - බීබීසී හින්දි
- කියවීමේ කාලය: මිනිත්තු 7
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු නිෂ්පාදන කර්මාන්තය තුළ ද අමුතු ම ආකාරයේ නොසන්සුන්තාවක් මතු වී තිබේ.
උපත් පාලන කොපු නිෂ්පාදනයේදී භාවිත කෙරෙන ඛනිජ රසායනික නිෂ්පාදන වන සිලිකන් තෙල් හා ඇමෝනියා සැපයුමට බාධා එල්ල වීම හේතුවෙන් මිල ඉහළ යාම පිළිබඳ කතිකාවක් ඇති වී තිබේ. මෙය සිල්ලර අලෙවිය සඳහා ද බලපෑම් එල්ල කළ හැක.
කර්මාන්තයේ මූලාශ්‍ර අනුව ඉන්දීය රුපියල් කෝටි 8000කට වඩා වටිනා මෙම ඉන්දියානු කර්මාන්තයේ ඇමෝනියා මිල 40-50%කින් ඉහළ යා හැකි බවට සැපයුම්කරුවන්ගෙන් ප්‍රමාණවත් ඇඟවීම් ලැබී ඇති අතර එබැවින් සිලිකන් තෙල් මිල ද ඉහළ යා හැකි ය.
"කොන්ඩම් දැන් ජීවන රටාවට සම්බන්ධ නිෂ්පාදනයක් බවට වෙලා තියෙනවා. ඒවායේ අලෙවිය මිනිස්සුන්ට බලපානවා. ඒත් එම කර්මාන්තයේ ගැටලුවක් ඇති වෙයි කියලා කිසි ම කෙනෙක් හිතුවේ නැහැ," යනුවෙන් කර්මාන්තයට සම්බන්ධ නිලධාරියෙක් නම හෙළි නොකිරීමේ කොන්දේසි මත බීබීසී හින්දි සේවය වෙත පැවසුවේ ය.
ඇමෝනියා භාවිත කරන්නේ රබර් කිරි ස්ථායී කිරීමට සහ අතිරික්ත ප්‍රෝටීන් ඉවත් කිරීමට ය. සිලිකන් තෙල් ආලේපනය උපත් පාලන කොපු මත ලිහිසිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
නමුත් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ එහි සිල්ලර අලෙවියට ඇති බලපෑම පමණක් මේ සඳහා කණස්සල්ලට පවතින එක ම කරුණ නොවේ.
ජනගහන හා සෞඛ්‍ය අධ්‍යයනවල (පවුල් සැලසුම් වැඩසටහන් සහ ඒඩ්ස් පාලන වැඩසටහන් වැනි) නියැලී සිටින පුද්ගලයින්ට කර්මාන්තය තුළ මෙම ගැටලුවේ බලපෑම කණස්සල්ලක් මතු කර තිබේ.
"වඩා හොඳ සෞඛ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා උපත් පාලන ක්‍රම සඳහා ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීම සහ උපත් පාලන කටයුතු සඳහා පුරුෂ පාර්ශවයේ දායකත්වය සාමාන්‍යකරණය කිරීම තමයි ඉතාමත් වැදගත් වන්නේ. ඒක නිසා උපත් පාලන කොපු හිඟයක් හෝ ඒවායේ මිල ඉහළ යාම නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමට ද හේතු වෙන්න පුළුවන්," ඉන්දියාවේ ජනගහන පදනමේ විධායක අධ්‍යක්ෂිකා පූනම් මුට්‍රේජා බීබීසී හින්දි වෙත පැවසීය.
ශ්‍රී ලංකාවට බලපෑමක් තිබේ ද?
මින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම පිළිබඳ බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේ මිල ගණන් ඉහළ ගියද, තම ආයතනය යටතේ කොන්ඩම් බෙදා හැරීමට මෙම මිල ඉහළ යෑම බලපෑමක් නොවන බවයි.
වසර තුනක් සඳහා (2028 වර්ෂය දක්වා) ප්‍රමාණවත් කොන්ඩම් තොග පවතින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
"නොමිලේ බෙදාහැරීමට බලපෑමක් නැහැ. අවුරුදු තුනක් යනකන් තොග තියෙනාවා. 2028 වෙනකන් අපි ළඟ ප්‍රමාණවත් තොග තියෙනවා. සියලුම දිස්ත්‍රික් සායන හරහා බෙදීම කරනවා."
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේ, තම ඉලක්ක ගත ප්‍රජාවට වාර්ෂිකව කොන්ඩම් මිලියන 5 -6ත් අතර සංඛ්‍යාවක් අවශ්‍ය වන අතර මිලියන 2ක් පමණ තම සායන මගින් බෙදා හරින බවයි.
සිය බෙදා හැරීමේ යාන්ත්‍රණය හරහා ඕනෑම අයෙකුට නොමිලේ කොන්ඩම් ලබා ගැනීමට හැකියාව ඇති බවද ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කළේය.
මිල ඉහළ යාමේ හැකියාවක් පවතින්නේ ඇයි?
"පීවීසී ෆොයිල් (PVC foil), ඇලුමිනියම් ෆොයිල්, පොලි රසායනික සහ ඇසුරුම් ද්‍රව්‍ය වැනි ප්‍රධාන අමුද්‍රව්‍යවල සැපයුම් බාධා සහ මිල උච්චාවචනයන් (මිල ඉහළ පහළ යාම) මෙන් ම ප්‍රවාහන පද්ධතියේ බාධා නිසා නිෂ්පාදනයට සහ ඇණවුම් සපුරාලීමේදී බලපෑම් ඇති වෙන්න පුළුවන්" HLL Life Care Limitedහි ප්‍රකාශකයෙක් බීබීසී හින්දි වෙත පැවසීය.
කේරළයේ තිරුවානන්තපුරම් හි මූලස්ථානය පිහිටි HLL යනු රටේ පවුල් සැලසුම් වැඩසටහනට සහාය වීම සඳහා මධ්‍යම රජය විසින් පිහිටුවන ලද වසර 60ක් පැරණි රාජ්‍ය අංශයේ සමාගමකි.
බහුලව සිදු කෙරෙන රබර් වගාව හේතුවෙන් එය කේරළයේ ස්ථාපිත කරන ලද අතර වසර ගණනාවක් පුරාවට HLL විවිධ ස්ථාන හතකට ව්‍යාප්ත වී පවතී.
රටේ කාන්තා සෞඛ්‍යය වැඩිදියුණු කිරීමේ මූලික ඉලක්කය සමගින් ඔවුන් දැන් උපත් පාලන කොපු, රෝහල් නිෂ්පාදන සහ ඖෂධ නිෂ්පාදය කරයි.
මෙම රාජ්‍ය අංශයේ සමාගම මේ වන විට වාර්ෂිකව උපත් පාලන කොපු බිලියන දෙකක් පමණ නිෂ්පාදනය කරන අතර එය රටේ සමස්ථ උපත් පාලන කොපු නිෂ්පාදනයෙන් 50%ක් පමණ වේ.
2025-26 කාලය තුළ, HLL ආයතනය පවුල් සැලසුම් වැඩසටහන සහ ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහා රුපියල් කෝටි 100කට වඩා වටිනාකමින් යුතු පිරිමි කොන්ඩම් නොමිලේ සපයා තිබේ.
එම ආයතනය සිය නිෂ්පාදනය රටවල් 87කට අපනයනය කරයි.
කර්මාන්තය තුළ පවතින නොසන්සුන්තාවට ප්‍රධානතම හේතුව වන්නේ, යුද්ධය හේතුවෙන් බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු සඳහා උද්ගත වූ ගැටලු වේ.
"ගෝලීය නෞකා බහාලුම් හිඟය හේතුවෙන් විදේශ රටවල සිටින පාරිභෝගිකයින් වෙත යවන භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වෙමින් තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා විශාල නෞකා යාත්‍රා කිරීම අවහිර වී තිබෙන නිසා මුහුදු භාණ්ඩ ප්‍රවාහනයට යන කාලය වැඩිවෙලා තිබෙන්නේ," නිලධාරියෙක් පැවසුවේ ය.
සුබ පැතීමේ තුඩුව හරහා නැව්ගත කිරීමට දින 15-20කට වඩා ගත වේ. මැද පෙරදිග ගුවන් කලාප සීමා කිරීම් හේතුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව අඩු වී ඇති අතර, එය නිමි භාණ්ඩ තොග ගොඩගැසීමට හේතු වී ඇත.
"වර්තමානයේදී අමුද්‍රව්‍ය සැපයුම්වල පවතින හිඟය නිවැරදිව තක්සේරු කිරීම අසීරු දෙයක්. අවිනිශ්චිතතාව අඛණ්ඩව තිබෙනවා. පළමුවෙන් ම තිබෙන්නේ අමුද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය යි. අමුද්‍රව්‍යවල පිරිවැය අනතුරුව නිෂ්පාදන පිරිවැය සහ පසුව බෙදා හැරීමේ ක්‍රියාවලියට පවතින බාධා. පැහැදිලිව ම මෙහි බලපෑම සැපයුමටත් බලපානවා," කර්මාන්ත මූලාශ්‍ර පවසයි.
ඇත්ත වශයෙන් ම, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මැලේගාඕන්හි පිහිටි Cupid සමාගම ද මෙහි ප්‍රතිවිපාකවලින් පීඩා විඳිමින් සිටියි.
සිලිකන් තෙල් සහ ඇලුමිනියම් ෆොයිල් මිල පාලනයෙන් බැහැර වෙලයි තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාලය වන විට රබර් කිරිවල මිලත් ඉහළ යනවා. ඒක නිසා මෙම තත්ත්වය නිෂ්පාදන පිරිවැයට බලපානවා. මේ වන විට තිබෙන ගැටලුව තමයි වැඩි වූ පිරිවැය වෙළෙන්දන් මත පටවන්න අපිට පුළුවන්කමක් නැහැ, මොක ද එයාලා ඒ සඳහා සූදානම් නැහැ. ඒක නිසා මේක ලොකු ප්‍රශ්නයක්'' Cupid සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි ආර්. බාබු පැවසුවේය.
"අපි අපේ මුළු නිෂ්පාදනයෙන් සියයට 80ක් ම වගේ අපනයනය කරන්නේ ප්‍රධාන වශයෙන් රුසියාව, දකුණු අප්‍රිකාව, යුරෝපය සහ බ්‍රසීලය යන රටවලට තමයි. එම භාණ්ඩ ප්‍රවාහනය කරන්න නැව් ලබා ගැනීමේදී ද අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවා" ඔහු පැවසුවේය.
ඖෂධ ක්ෂේත්‍රයේ පවතින ගැටලු
උපත් පාලන කොපු නිෂ්පාදන කර්මාන්තයේ පවතින අවිනිශ්චිතභාවය සාමාන්‍ය ඖෂධ අංශයේ ද පැහැදිලිව දක්නට ලැබේ. මෙම අංශය අභියෝග දෙකකට මුහුණ දෙයි.
"එක් අභියෝගයක් තිබෙන්නේ අපනයනය පැත්තෙන්. මුහුදෙන් හෝ ගුවන් මාර්ගයෙන් වුනත් අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය වගේ රටවලට අපනයනය කිරීමේදී නැව් සහ ගුවන් යානා ලබා ගැනීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තිබෙනවා, මෙයට ප්‍රධාන හේතුව තමයි ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ වාර ගණන අඩු වී තිබීම. වාර ගණන අඩුවෙලා නිසා පිරිවැය වෙලා තිබෙනවා,''ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රකාශක විරාන්චි ෂා බීබීසී හින්දි සේවයට පැවසීය.
"මෙය නිරීක්ෂණය කළ යුතු ක්ෂේත්‍රයක්. බලපෑම පැහැදිලිව දකින්න පුළුවන්," ෂා පවසයි. "නමුත් ඉන්දියාව තුළ ඖෂධ ලබා ගැනීම හෝ ඖෂධ අපනයනය කිරීම සඳහා කිසිදු අභියෝගයක් එල්ල වෙලා නැහැ."
නමුත් මෙම කර්මාන්තය මුහුණ දෙමින් සිටින අභියෝගය වන්නේ බොහෝ ඖෂධවල ද්‍රාවක හෝ කෘතිම ඖෂධ වැනි ඛනිජ රසායනික ද්‍රව්‍ය මත පදනම් වූ අමුද්‍රව්‍ය අඩංගු වීමයි.
"මිනිස්සු දැන් බොහෝ දේ අනුමාන කරනවා. මෙම අනුමානය නිසා මිනිසුන්ට ප්‍රමාණවත් නොවීම ගැන කනස්සල්ලක් ඇති වී තිබෙනවා. ඒ නිසා මිල වැඩි වෙලා තිබෙන්නේ. මේ වන විට එය සැබෑ හිඟයට වඩා පවතින්නේ අනුමාන කිරීමක්" අහමදාබාද්හි ෂා පැවසීය.
"බියජනක තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඇත්තෙන් ම කියනවා නම් හෙට දවසේ කුමක් සිදුවේවි ද කියලා මිනිසුන්ට විශ්වාසයක් නැහැ," ඔහු පවසයි.
උපත් පාලන කොපු නිෂ්පාදන කර්මාන්තයට එල්ල වන බලපෑම කෙතරම් බරපතලද?
උපත් පාලන කොපුවල මිල ඉහළ යාම හෝ ඒවායේ නිෂ්පාදනය අඩුවීම පිළිබඳව පවුල් සැලසුම් ක්ෂේත්‍රය තුළ කනස්සල්ලක් පවතී.
"ඉන්දියාව උපත් පාලන ක්‍රම සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සහ වැඩි කිරීම සිදු කළ යුතු යි. උපත් පාලන කොපු භාවිතය සහ පවුල් සැලසුම් ක්‍රියාවලිය සඳහා පුරුෂ පාර්ශවයේ දායකත්වය ද වැඩි කරන්න ඕනේ. මිල ඉහළ ගියොත් හරි ලබා ගැනීමේ හැකියාව සීමා වුණොත් හරි විශේෂයෙන් ම තරුණයින් සහ අඩු ආදායම්ලාභී ජන කොටස් අතර උපත් පාලන කොපු භාවිතය අඩුවෙන්න පුළුවන්. මෙම තත්ත්වය නිසා උපත් පාලන ක්‍රියාවලියේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය අඩාළ වෙන්න පුළුවන්," පූනම් මුට්‍රේජා පැවසීය.
''මේකෙන් අනපේක්ෂිත ගැබ්ගැනීම් පිළිබඳ තිබෙන අවදානම වැඩි කරනවා පමණක්ම නෙමෙයි, ඉන්දියාව විසඳා ගැනීමේ උත්සහයක නිරත වී සිටින කාන්තාවන් අසමාන ලෙස ගැබ්ගැනීමේ තත්ත්වය ද තීව්‍ර කරනවා.'' ඔහු පැවසුවේය.
ඉන්දියාව තුළ උපත් පාලන කොපු භාවිතය පවතින්නේ ''දුර්වල මට්ටමක'' ය. එය වඩාත් සමබර හා සාධාරණ පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වී තිබේ.
''ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණය (NFHS-5) මගින් අනාවරණ කළේ දැනට විවාහක පවුල්වලින් සියයට 9ක් පමණක් කොන්ඩම් තම ප්‍රධාන පවුල් සැලසුම් ක්‍රමය ලෙස සලකනවා කියලයි. එමගින් කොන්ඩම්වල ඇති වැදගත්කම වගේම ඒවා ප්‍රචලිත කිරීම සඳහා ඇති විශාල අවස්ථාව පෙන්නුම් කරනවා."
''තරුණ ප්‍රජාව අතර සිටින බොහෝ දෙනෙකු කොන්ඩම් භාවිත කරනවා'' ඔහු පැවසුවේය.
''මහජන සෞඛ්‍ය වැඩසටහන් විශාල වශයෙන් තොග මිල දී ගැනීම් මත රඳා පවතින ඉන්දියාව වැනි රටක, උපත් පාලන කොපුවල කෙටි කාලීන හිඟයක් පවා නොමිලේ හෝ සහන මිලට ඒවා ලබා ගන්නා පිරිසට බලපෑමක් වෙන්න පුළුවන්'' ඔහු පවසයි.
අවසාන වශයෙන් පවතින ගැටලුව වන්නේ, පාරිභෝගිකයින්ට උපත් පාලන කොපු මිලදී ගැනීමේදී වැඩි මුදලක් ගෙවීමට සිදුවන්නේ කවදා ද යන්න යි.
කර්මාන්ත නිලධාරීන් දැන් අපේක්ෂා භංගත්වයකට පත්ව සිටින බව පෙනෙන්නට තිබේ. "මේ යුද්ධය ඉතාමත් ඉක්මනින් ඉවර වෙන තරමට ඒක හැමෝටම හොඳ දෙයක් වෙයි.'' ඔවුන්ගෙන් අයෙකු පැවසුවේය.