එමිල් රන්ජන් ළමාහේවා: හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට ලබා දුන් සම්මානය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධයක් එල්ල වන්නේ ඇයි?

කියවීමේ කාලය: මිනිත්තු 5

බන්ධනාගාර නිලධාරියකු ලෙස තිස් හත් වසරක් කළ සේවය වෙනුවෙන් පසුගිය දිනක හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඇඟයීමට ලක් කර තිබුණි.

තම සේවය අගයමින් ලබා දුන් තිළිණය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතින් ලබා ගත් බවට හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ ඡායාරූප ද සමගයි.

මරණීය දණ්ඩනය ලබා පසුව නිදහස ලැබු හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට වත්මන් රජයේ ඇමැතිවරයෙකු අතින් තිළිණ ලබා දී ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් සමාජ මාධ්‍යය තුළ ඇති විය.

එම සටහන් බොහෝමයක එමිල් රන්ජන් ළමාහේවා ඇඟයීම සම්බන්ධව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මෙන්ම ආණ්ඩුව ද දැඩිව විවේචනය කර තිබෙනු දැකගත හැකිය.

වැලිකඩ ගැටුමේ ඉතිහාසය

මෙම ගැටුම ආරම්භ වන්නේ 2012 වසරේ නොවැම්බර් නව වෙනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුල් වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟය.

සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව ප්‍රකාශය විණි.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ සුප්‍රකට 'එල්'(L) වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන 'චැපල් වාට්ටුව' නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුල් වීමත් සමඟ තත්වය නරක අතට හැරුණි.

එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණ බව ඇතැම් රැඳවියෝ පවසා තිබුණි.

එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වෙනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

'2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල' ලෙස එය සමාජගත විය.

එසේම එය 1983 ජූලි කෝලාහල සමයේ දෙමල ජාතික සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් හඳුන්වා දෙනු ලැබ ඇත.

1983 ප්‍රහාරයේ දී වැලිකඩ සිර ගෙය තුළ මරා දමන ලද දෙමල ජාතික සිරකරුවන්ගේ සංඛ්‍යාව පනස් තුනකි.

2012 දී මෙම ඝාතන සිදු කෙරෙන විට වැලිකඩ සිරගෙය තුළ හාර දහසක් පමණ රැඳවියන් වූ බව වාර්තා වී ඇත.

වැලිකඩ සිරකරුවන් ඝාතනයට වැරදිකරු වී නිදොස් වීම

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා ආරක්ෂක අංශ අතර මෙම ගැටුම සිදුවන විට බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කරනු ලැබුවේ එමිල් රන්ජන් ළමාහේවා ‍යි.

එම සිදුවීම සම්බන්ධයෙන් එමිල් රන්ජන් ළමාහේවා 2018 වසරේ දී අත්අඩංගුවට ගත් අතර 2022 වසරේ දී අදාළ නඩුවේ තීන්දු ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඔහුට මරණීය දණ්ඩය නියම කළේය.

වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්ධව අධිකරණය ඉදිරියේ චෝදනා ලැබු විත්තිකරුවන් තිදෙනාගෙන් දඬුවම් ලැබු එකම විත්තිකරු හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා වීම විශේෂත්වයකි.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කළ අතර ඉන් ඔහුව මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කිරිමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 දී තීන්දු කරන ලදී.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විරෝධයක්

මරණීය දණ්ඩනයෙන් නිදහස ලබා මාස කිහිපයකට පසුව මෙලෙස හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සේවය ඇඟයීමට ලක් කර ඇති අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්, මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් සමාජ මාධ්‍ය තුළ එය දැඩිව විවේචනය කර තිබේ.

"වැලිකඩ බන්ධනාගාර ඝාතනයට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුව එල්ලුම් ගහට නියම වු එකම චූදිතයාට පුනරුදයෙන් උපහාර" යනුවෙන් වැලිකඩ සිරකරුවන් ඝාතනය ගැන කෘතියක් රචනා කළ එවකට මාධ්‍යවේදියකුව සිටි කසුන් පුස්සවෙල හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට උපහාර පුද කිරිම සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කර ඇත.

දේශපාලන හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන භාරත තෙන්නකෝන් ද එම සිදුවීම මෙන්ම හර්ෂණ නානායක්කාර ඇමැතිවරයාව ද උපහාසයට ලක් කර ති⁣බුණි.

"බන්ධනාගාර පුනරුද චක්‍රවර්තී ලමාහේවා උපාසක මහතාට උණුසුම් සුබ පැතුම්."

"හිස නවා ආචාරකොට සුදුස්සන් ඇගයූ හර්ෂණයියාටත් අපේ මෙව්වා එක 🥳"

තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ ප්‍රධානී, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන එම සිදුවීම ගැන මෙලෙස සටහන් කර ඇත.

"මේ ඡායාරූපයේ තියන පින්තූරයට අදාළ සාදය/උත්සවය සඳහා සල්ලි කොහෙන්ද කියලා හොයලා බැලුවොත් බොහෝ දේවල් එළියට එයි."

තවත් මෙවැනිම උපහාසත්මක මෙන්ම විවේචනාත්මක සටහන් බොහෝමයක් ෆේස්බුක් තුළ මෙන්ම ඇතැම් යුටියුබ් නාළිකා වැඩසටහන් ඔස්සේ ද හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඇඟයීම පිළිබඳ අදහස් පළ කර තිබුණි.

'අධිකරණයෙන් එතුමාව නිදහස් කරලා තියෙන්නේ'

මේ අතර හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඇගයීමකට ලක් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක ගෙන් විමසීමක් කරන ලදී.

එහිදී ඔහු පවසා සිටියේ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට එල්ල වූ චෝදනා වලින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කර ඇති බවයි.

''දැනට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පරිදි එතුමා නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ. ඒ වගේ එක්කෙනකුට තවදුරටත් චෝදනා නැගීම අධිකරණයට කරන අපහාසයක් හැටියට මම දකින්නේ.''

''එතුමා වෙනුවෙන් සංවිධානය කරපු උත්සවයක් නෙමෙයි ඒක. වාර්ෂිකව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගම් එකතු වෙලා සුහද හමු පවත්වනවා. ඒකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එකතු වෙනවා.''

''ගිය අවුරුද්දේ ,ඒ ආකාරයෙන්ම කටුනායක ප්‍රදේශයේ පිහිටි හෝටලයක මේ වගේ සුහද හමුවක් පැවැත්වුවා. ඒකෙදි හිටපු අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ වගේම ලේකම්තුමියත් ඇවිල්ලා හිටියා.''

''ඒකෙ එක අංගයක් තමයි විශ්‍රාමික නිලධාරීන්ට වගේම සංගමයේ සාමාජිකයින්ට සිහිවටනයක් ලබාදීම. ඒ අවස්ථාව වෙනකොට එමිල් රන්ජන් සිරගතවෙලා හිටිය නිසා අපිට ඔහු අපේ සාමාජිකයෙක් නිසා සිහිවටනයක් ලබාදීමට පසුගිය කාලයේ අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී ඒක ලබා දුන්නා.'' යනුවෙන් ඔහු පැවසීය.