ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පොලිස්පතිගේ චක්‍රලේඛය අනුව ICCPR යටතේ අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මොනවා ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 10
පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව ගෙන එන ලද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) අනුව අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව, අදාළ පනතේ 3 වන වගන්තිය යටතේ සිදු කරනු ලබන වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාර්තු 19 වන දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන් වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද 2007 වසරේ සිට මෙරට ක්‍රියාත්මක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) ශ්‍රී ලංකා ආණ්ඩුව සුළුතර ජාතීන් පීඩාවට පත් කිරීමට මෙන් ම ආණ්ඩු විරෝධීන් මර්දනය සඳහා යොදා ගන්නා බවට දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් බොහෝ අවස්ථාවලදී චෝදනා එල්ල විය.
පනතේ 3 වන වගන්තියේ සඳහන් වන්නේ මොනවා ද?
පනතේ 3 වන වගන්තයේ කිසි ම තැනැත්තෙකු ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතු බව දක්වා ඇති අතර එමෙන් ම ඊට අදාළ වරදක් කළ බවට මහාධිකරණය විසින් තීරණය කරන ලද තැනැත්තෙකු වසර 10කට වැඩි නොවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමේ හැකියාව පවතී.
ICCPR පනතේ 3 වන වගන්තිය හා එහි අනුවගන්ති පහත පරිද වේ;
3 (1) කිසි ම තැනැත්තකු විසින්, යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතු ය.
(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක් -
(අ) සිදු කිරීමට තැත් කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන,
සෑම තැනැත්තෙකු ම, මේ පනත යටතේ වූ වරදකට වරදකරු වන්නේ ය.
(3) මේ වගන්තියේ (1) වන උපවගන්තිය හෝ (2) වන උපවගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට තීරණය කරනු ලබන තැනැත්තෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීමේදී, බරපතළ වැඩ ඇතිව අවුරුදු දහයකට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබිය යුතුය.
(4) මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර, එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසි ම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර, ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය.
(5) මේ වගන්තිය යටතේ වූ වරදක් සිදු කිරීම සඳහා යම් තැනැත්තකුට එරෙහිව මහාධිකරණය විසින් පවත්වනු ලබන නඩු විභාගයක් එම අධිකරණයේ වෙනත් නීති කෘත්‍යයකට පෙර විභාගයට ගත යුතු අතර, වාර්තාගත කළ යුතු නොවැළැක්විය හැකි හේතු අනුව මිස, දිනපතා පැවැත්වෙන නඩු විභාගයක් ලෙස පවත්වා ගෙන යා යුතු ය; තව ද එම නඩු විභාග කල් දැමීම ද නොකළ යුතුය.
(6) මේ වගන්තියේ (2) වන උපවගන්තියේ කාර්ය සඳහා "අනුබල දීම" යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 100 වන වගන්තියේ ඊට දී ඇති අර්ථය ම තිබිය යුතුය.
මෙම පනත යටතේ අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය විසින් කටයුතු කරනු ලැබුව ද, ඒ බොහෝ අවස්ථාවලදී ඔවුන් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ.
එමෙන් ම මෙම පනත මගින් අත්අඩංගුවට ගෙන නඩු පවරා වරදකරු කෙරුණු පුද්ගලයෙකු සම්බන්ධව මෙතෙක් වාර්තා වී නැත.
ICCPR පනත ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මොනවා ද?
කෙසේ නමුත් මෙම පනතේ 3 වන වගන්තිය යටතේ පොලිසියේ ක්‍රියා කලාපය බොහෝ විට විවේචනයට ලක් වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ඒ බව සනාථ කරමින් එවැනි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධව අවස්ථා කිහිපයකදී ම ශ්‍රී ලංකා පොලිසිය වෙත නිර්දේශ නිකුත් කර ඇත.
ආචාර්ය දීපිකා උඩුගම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී 2019 වසරේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේෂයන් නිකුත් කළා ය.
"3.1 ඉහත 2 වන කොටසෙහි නිරීක්ෂණයන්ට අනුව පනතෙහි 3 වන වගන්තිය සම්මුතියෙහි 20 වන වගන්තියට අදාළ අන්තර් ජාතික නීති රාමුවට අනුකූලව අර්ථකථනය කළ යුතු බව කොමිෂන් සභාව නිර්දේශ කරනු ලැබේ.
3.1.1 3 වන වගන්තියෙහි අන්තර්ගතය තීරණය කිරීම සඳහා රබාත් ක්‍රියා සැලසුමෙහි ඇතුළත්, ඉහත 1.2.1 කොටස යටතේ සාකච්ඡා කරන ලද, අංග 6කින් සමන්විත පරීක්ෂණය (threshold test) උපයෝගී කර ගත යුතු බව.
3.1.2 වෛරය පැතිරවීම, වෙනස් ලෙස සැලකීම, එදිරිවාදිකම්, සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමක් නොවේ නම් එවන් ප්‍රකාශන 3 වන වගන්තිය යටතේ තහනම් කිරීමකට ලක් නොවිය යුතු බව.
3.2 අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ පනතේ 3 වන වගන්තිය තුලිතව ක්‍රියාවට නැංවිය යුතුය:
3.2.1 ICCPR පනතේ 3 වන වගන්තිය ස්වාධීන වගන්තියක් ලෙස හඳුනා ගත නොයුතුය. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සමඟ එකට කියවිය යුතු වේ. ICCPR පනතේ 3 වන වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පනවන සීමාවක් වන බැවින් 3 වන වගන්තිය යටතේ පනවා ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සිදු කරන තහංචි, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ පැනවිය හැකි සීමාවන්ට අනුගත විය යුතුය.
3.2.2 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තියෙහි ආරක්ෂාව ලබන ප්‍රකාශන ICCPR පනතෙහි 3 වන වගන්තිය යටතේ තහනම් කළ නොහැක. උදාහරණයක් ලෙස කිසියම් ජාතියක, වාර්ගික හෝ ආගමකට අයත් පුද්ගලයකුට කම්පනයක් ඇති කරවන, අවමානයට පත් කරන හෝ කැළඹීමකට හේතු වන ආකාරයේ ප්‍රකාශනයක් එම කරුණ මත පමණක් ම පදනම්ව 3 වන වගන්තිය යටතේ තහනම් කළ නොහැක.
3.2.3 ඒ අනුව 3 වන වගන්තිය යටතේ රජය විසින් පනවන ලද සීමාවක් නීත්‍යනුකූල වීමට නම් එම සීමාව නීත්‍යනුකූල බව, සමානුපාතික බව සහ අවශ්‍යතාව යන පරීක්ෂණ තුන ම සැපිරිය යුතුය. කොටස් තුනකින් සමන්විත මෙම පරීක්ෂණය ශ්‍රී ලංකාවේ නඩු තීන්දු නීති රාමුව තුළ මේ වන විටත් ක්‍රියාත්මකය (සුනිලා අබේසේකර එ. ආරිය රූබසිංහ, නිසි බලධරයා.
3.3 3 වන වගන්තිය ක්‍රියාත්මක කළ හැක්කේ පුද්ගලයන් කිහිප දෙනෙක් එකට එකතු වී ක්‍රියා කරන අවස්ථාවක පමණක් නොවේ. එක් පුද්ගලයකු වුව ද, තම ක්‍රියාවන්වල ප්‍රතිඵලයක් ලෙස වෙනස් ලෙස සැලකීම, එදිරිවාදිකම්, සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවේ යයි යන දැනුමෙන් යුතුව එවන් ක්‍රියාවන් සඳහා අනෙක් පුද්ගලයන් පොළඹ වන්නේ නම්, 3 වන වගන්තිය යටතේ වූ වරදට හසු කර ගත හැක.
3.4 3 (3) සහ (4) වගන්තිවලට අනුව යම් පුද්ගලයකු 3 වන වගන්තිය යටතේ වරදක නිරත වන බවට සාම නිලධාරියෙකු තුළ සාධාරණ සැකයක් පවතී නම් එවන් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව එම නිලධාරියා සතුය. එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් ඇප හෝ අපේක්‍ෂිත ඇප මත නිදහස් කිරීමේ හැකියාවක් නොමැත. ඇප ලබා දිය හැක්කේ, සුවිශේෂී අවස්ථාවලදී, මහාධිකරණයක් විසින් පමණි.
3.5 3 වන වගන්තිය යටතේ වරදකට හසු වන පුද්ගලයෙකු වෙනත් වරදක් හුවා දක්වා නිදහස් නොකළ යුතුය. උදාහරණයක් ලෙස ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පෙළඹවීමක් සිදු කරන පුද්ගලයකු සාමයට බාධා කිරීම යන වරද යටතේ නිදහස් නොකළ යුතුය.
3.6 පනත යටතේ වන රාජ්‍ය වගකීම සහ 3 වන වගන්තියෙහි අර්ථකථනය:
3.6.1 පුද්ගලයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහ නීතියේ සම රැකවරණය ලබා දීම සඳහා තෙවන පාර්ශවයක් විසින් වෙනස් ලෙස සැලකීම, එදිරිවාදිකම්, සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹ වීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍ය සතු වන අතර, එවන් පෙළඹවීම් සිදු කිරීමෙන් ද වැළකී සිටිය යුතුය.
3.6.2 යම් පුද්ගලයෙකු 3 වන වගන්තිය යටතේ වරදක නිරත වන බවට සාධාරණ සැකයක් පවතින විට ඒ පිළිබඳව කටයුතු කළ හැකි නිලධාරියකු ICCPR පනත යටතේ වන නීතිමය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීමට අපොහොසත් වන්නේ නම් හෝ මැළි වන්නේ නම් එය ස්වෛරී ප්‍රකාශයන්ට රජය විසින් ලබා දෙන ව්‍යංග අනුබල දීමක් වන අතර, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට හේතු වන රාජ්‍ය වගකීම් පැහැර හැරීමක් ද වේ," යන්න එම නිර්දේෂයන් වේ.
එමෙන් ම ප්‍රහසන ශිල්පිනියක වන නාතාෂා එදිරිසූරිය විසින් ඇය ICCPR පනත මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරු 2024 වසරේදී ඊට අදාළව එම කොමිසම නිකුත් කළ නිර්දේශ අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වන වගන්තිය මෙන් ම එමගින් අත්අඩංගුවට ගැනීම පාලනය කරන අදාළ නීති සහ ක්‍රියා පටිපාටි පිළිබඳව සියලු ම ස්ථානාධිපතිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දැනුවත් කිරීම අරමුණු කරගත් පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛත්වය දිය යුතු බවට පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර ඇත.
පොලිස්පතිවරයා නිකුත් කර ඇති මාර්ගෝපදේශ මොනවා ද?
මෙවැනි පසුබිමක පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලු ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ ස්ථානාධිපතිවරුන් වෙත මාර්තු 19 වන දා RTM-623 CRTM-423 දරන චක්‍රලේඛය නිකුත් කරමින් ICCPR පනත 3 වන වගන්තිය යටතේ සිදුකරන වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
"2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR Act) පනතේ 3 වන වගන්තියේ අරමුණ වන්නේ යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම වැළැක්වීම මිස, සාධාරණ විවේචන (විශ්වාසයන්ට හෝ ආගම් විවේචනය කිරීම ඇතුළුව), උපහාසය, Bote (parody) හෝ අවවාදාත්මක ප්‍රකාශ සාපරාධී වරදක් බවට පත් කිරීම නොවේ."
"2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත් 3 වන වගන්තිය ප්‍රකාරව වරදක් සම්බන්ධයෙන් චෝදනාවකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත හැක්කේ පහත සඳහන් මාර්ගෝපදේශ පූර්ණ ලෙස අනුගමනය කිරීමෙන් පසුව පමණි," යනුවෙන් එහි දැක්වේ.
1. යම් කතාවක් / ප්‍රකාශයක් හෝ ප්‍රකාශනයක් මගින් යුද්ධය පැතිරවීම, නැතහොත් වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් කරන්නේ ද යන්න පරික්ෂා කිරීමේදී, එම කථාවේ හෝ ප්‍රකාශනයේ නිශ්චිත කොටස් මෙන් ම එහි සමස්ත අන්තර්ගතය ද සැලකිල්ලට ගත යුතුය.
2 යම් ප්‍රකාශයක් මගින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් පවතින බව බැලූ බැල්මට පෙනී යන්නේ නම්, එම සැකය සාධාරණ හා පදනම් සහිත එකක් දැයි තීරණය කිරීම සඳහා පොලිස් නිලධාරියා විසින් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
i එම කතාව / ප්‍රකාශය සිදු කළ සන්දර්භය සහ ඒ හා බැඳුණු අවට වාතාවරණය;
ii අදාළ පුද්ගලයාගේ හැසිරීම සහ විශේෂයෙන් ම ප්‍රශ්නගත ප්‍රකාශයට සම්බන්ධයක් (causal link) තිබෙන සියලු පෙර සහ පසු හැසිරීම;
iii අදාළ පුද්ගලයා සහ සවන්දෙන්නන් හෝ ප්‍රේක්ෂකයන් අතර පවතින සම්බන්ධතාවය සහ එම පුද්ගලයාට සවන් දෙන්නන් හෝ ප්‍රේක්ෂකයින්ට බලපෑමක් කිරීමට තිබු හැකියාව, සහ සවන්දෙන්නන් හෝ ප්‍රේක්ෂකයන් එමගින් පෙළඹිය හැකිව තිබුණේ ද යන කාරණා සලකා බැලීම;
iv. අදාළ පුද්ගලයාගේ චේතනාව හෝ අරමුණ සහ එමගින් අන් අයව ජාතික, වාර්ගික හෝ ආගමික වෙනස්කම් සලකා එදිරිවාදිකම්වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට පෙළඹවීමේ චේතනාවක් තිබුණේ ද යන්න;
v ප්‍රශ්නගත ප්‍රකාශය සිදු කළ කාල සීමාව තුළ සිදු වූ ජාතික, වාර්ගික හෝ ආගමික වෙනස්කම්වලට අදාළ එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමේ සිද්ධීන් සහ එකී සිද්ධිය හෝ සිද්ධීන් එම ප්‍රශ්නගත ප්‍රකාශයේ පසු විපාකයක් වන්නේ ද, සහ එකී ප්‍රශ්නගත ප්‍රකාශය සහ ඇති වූ ජාතික, වාර්ගික හෝ ආගමික වෙනස්කම්වලට අදාළ එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩකාරී සිද්ධිය හෝ සිද්ධීන් අතර ඇති සම්බන්ධතාව;
vi. ජාතික, වාර්ගික හෝ ආගමික වෙනස්කම්වලට අදාළ එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩකාරී සිද්ධින් සිදු නොවූවත්, අදාළ ප්‍රකාශය හේතුන් එවැනි දෙයක් සිදුවීමේ අවදානමක් පැවතියේ ද යන්න.
3. ඉහත අංක 2 යටතේ සඳහන් කර ඇති කරුණු සලකා බැලීමෙන් පසු, අදාළ ප්‍රකාශය මගින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම ඇති වන බවත් සහ එකී ප්‍රකාශය ජාතික, වාර්ගික ආගමික වෙනස්කම් සලකා එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමේ චේතනාවක් සමග කරන ලද ප්‍රකාශයක් වන බවත් සහ එම ප්‍රකාශය හේතු කොට ගෙන ජාතික, වාර්ගික හෝ ආගමික වෙනස්කම් සලකා එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමේ සිද්ධීන් සිදුවීම හෝ එවැන්නක් බොහෝ දුරට සිදුවේ යැයි අදාළ පොලිස් නිලධරයා සාධාරණ ලෙස සැක කරන්නේ, අදාළ පොලිස් නිලධරයා එම හේතු කාරණය ලිඛිතව වාර්තා කිරීමෙන් අනතුරුව, සැකකරු අදාළ නීතිමය ප්‍රතිපාදන සහ කොන්දේසිවලට යටත්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගත හැකිය.
කෙසේ වෙතත්, තවදුරටත් වරදක් සිදු කිරීම වැළැක්වීමේ අරමුණින් වහා ම අත්අඩංගුවට ගැනීමත් අවශ්‍ය බව හෝ එවැනි ප්‍රකාශයක් මගින් ප්‍රචණ්ඩත්වය පෙළඹවීමේ දැඩි අවදානමක් පවතින බව අදාළ පොලිස් නිලධාරියා විශ්වාස කරන්නේ නම් මිස, ඉහත සඳහන් වරද සිදු කිරීම සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකගේ පූර්ව ලිඛික අනුමැතිය ලබා ගත යුතු ය. නිති කොට්ඨාසයේ අධ්‍යක්ෂ විසින් එකී අනුමැතිය දීම සලකා බැලීමේදී පොලිස් නිලධාරි විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත ඉහත 1 සහ 2හි නිර්ණායක සපුරාලන බවට සැහීමකට පත් විය යුතු ය.
තවද, ශ්‍රී ලංකා පොලිසියේ නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකගේ ලිඛිත අනුමැතියකින් තොරව එවැනි පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලබන විට, ඔහු වහා ම එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අධ්‍යක්ෂ - නීති කොට්ඨාසය දැනුවත් කිරීමට පියවර ගත යුතු ය.
4. ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කර ඇති බවට තොරතුරු ලැබුණු පසු නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට අදාළ සියලු ලේඛන/සාක්ෂි කැඳවිය යුතු අතර, අවශ්‍යනම් ඉදිරි විමර්ශන පියවර, සැකකරු රඳවා තබා ගැනීම සහ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ව පොලිස් විමර්ශන නිලධාරියාට/නිලධාරින්ට උපදෙස් ලබා දිය යුතු ය.
5. ඉහත අංක 1 සහ 2 හි නිශ්චිතව දක්වා ඇති නිශ්චිත නිර්නායක සපුරාලීම මත පමණක් ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කළ යුතුය යම් යම් පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් (විශේෂයෙන් ම යම් ජාතීන්ට හෝ ආගමික කණ්ඩායම්වලට), හෝ පොදුවේ ජන සමාජයට, හිත්රිදවීමක් හෝ අපහාසයක්/දේව අපහාසයක් සිදුවූ පමණින් එය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත් 3 වන වහන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට හේතුවක් ලෙස නොසැලකිය යුතුය.
6. ඉහත 1 සහ 2 හි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක සපුරාලීම මත මිස, යම්කිසි සමාජ කොටසක් හෝ පුද්ගලයෙකු යම් හෝ ප්‍රකාශයකට ස්වයං අභිප්‍රේරණය වී ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් තිබෙන පමණින් ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ යුතුය.
7. යම් තැනැත්තෙකු මෙම පනතේ 3 වන වගකිය යටතේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 32 වන වගන්තියෙහි ප්‍රතිපාදන සහ මෙම මාර්ගෝපදේශ අනුගමනය කරමින් ය.
8. යම් තැනැත්තකු මෙම පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව තබා ගැනීමට අපේක්ෂා කර නම්, එවැනි රඳවා තබා ගැනීමක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන සහ අනෙකුත් අදාළ නීතිවලට දැඩි ලෙස අනුකුලව සිදුකළ යුතු ය.
9. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 115 වන වගන්තිය යටතේ කටයුතු කිරීමේදී, අදාළ හැසිරීම, ඉහත අංක 1 සහ 2හි දක්වා ඇති නිර්ණායකවලට අනුව, වරදක් ලෙස සැලකීමට හේතු වන ආකාරය පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන වාර්තාවේ සඳහන් කළ යුතු ය.
10. තව ද, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති අවස්ථාවල, විමර්ශන නිලධරයා විසින් සාධාරණ හේතු තිබෙන අවස්ථාවක මිස, දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගන්තිය එම සැකකරුට ආරෝපණය නොකළ යුතුය.
11. එසේ ම, දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ සිදු කලා යැයි චෝදනා කරන ලද වැරදි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේදී, ඉහත 2 වන මාර්ගෝපදේශනයෙහි සඳහන් නිර්ණයකයන් අවශ්‍ය වෙනස් කිරීම සහිතව (mutatis mulandis) අනුගමනය කල යුතු අතර, ඉහත 3 වන මාර්ගෝපදේශනයෙහි සඳහන් කරුණු වාර්තා කිරීමේ ක්‍රියාපටිපාටිය ද මෙම වගන්තින්වලට අදාළ චෝදනා විමර්ශනය කිරීමේදී අනුගමනය කළ යුතුය.
12. මෙම මාර්ගෝපදේශන අදාළ වන විමර්ශන කටයුතු සිදු කිරීමේදී මෙහි සඳහන් විධි විධානවලට පටහැනිව කටයුතු කිරීම හෝ මෙම විධි විධාන අවභාවිත කර ඇති බවට අනාවරණය වුවහොත්, එම විමර්ශනයට අදාල සියලු නිලධාරීන්ට එරෙහි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලැබේ.
ICCPR ජාත්‍යන්තර සම්මුති පනත කුමක් ද?
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) බලාත්මක විය.
1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.
2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.