ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: චාල්ස් කුමරුටත් ආසාදනය වී ඇතැයි තහවුරු වේ
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔහුගේ නිල නිවස වන ක්ලැරන්ස් මන්දිරය තහවුරු කළේය.
71 හැවිරිදි කුමරු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම "හැරුණුවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන" බව ප්‍රකාශකයකු පැවසීය.
චාල්ස් කුමරුගේ බිරිය වන කෝන්වෝල්හි ආදිපාදවරිය කැමිලා පාකර් ද පරීක්ෂාවට ලක් කෙරුණත් ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී නැත.
චාල්ස් කුමරු හා කැමිලා යන දෙදෙනා මේ වන විට බැල්මොරල් මන්දිරයේ ස්වයං හුදෙකලා වී ඇති බව ද ක්ලැරන්ස් මන්දිරය පැවසීය. "ගෙවුණු දින කිහිපය පුරා චාල්ස් කුමරු නිවසේ සිට වැඩ කළ," බව ද කියවිණි.
"ආණ්ඩුවේ වෛද්‍ය උපදෙස් පරිදි කුමරු හා ආදිපාදවරිය ස්කොට්ලන්තයේ පිහිටි නිවාස තුළ ස්වයං හුදකලා වී සිටිති," යනුවෙන් නිල නිවේදනයේ දැක්විණි.
"පසුගිය සති කිහිපය පුරා කුමරු ප්‍රසිද්ධ අවස්ථා රැසකට එක්වූ බැවින් කවරකුගෙන් වෛරසය එන්නට ඇත්දැයි පැවසීම අසීරු" යැයි ද නිවේදනයෙන් පෙන්වා දී තිබේ.