ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කලාම්සැට් වී2: ඉන්දියාවේ සිසුන් පිරිසක් තැනූ 'බරින් අඩු ම චන්ද්‍රිකාව' කක්ෂගත කරයි
ඉන්දියාව ඔවුන් පවසන ආකාරයට 'ලෝකයේ අඩු ම බරින් යුත්' චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කර තිබේ.
බරින් කිලෝග්‍රෑම් 1.26 ක් වූ කලාම්සැට් වී2 (Kalamsat-V2) ලෙස නම් කර ඇති එම චන්ද්‍රිකාව එරට අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයක සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
එය ගුවන් විදුලි තරංග විකාශය කිරීමට උපකාරී වන අතර, "පාසල් සිසුන් අනාගතයේදී විද්‍යාඥයින් සහ ඉංජිනේරුවරුන් බවට පත් කිරීම සඳහා ඉන් උද්යෝගයක් ලැබෙනු ඇතැයි," ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (Indian Space Research Organisation) විසින් එය අභ්‍යවකාශගත කර ඇත්තේ, ඊට අයත් ශ්‍රීහරිකෝතා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ සිවන් පැවසුවේ, "මෙතෙක් කක්ෂගත කර ඇති බරින් අඩු ම චන්ද්‍රිකාව කලාම්සැට්" වන බවය.
පෞද්ගලික ඉන්දීය ආයතනයක් නිර්මාණය කළ චන්ද්‍රිකාවක් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය විසින් කක්ෂගත කරන ලද පළමු අවස්ථාව ද මෙය වේ.
මේ ගැනත් කියවන්න:
මෙම චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කිරීම සම්බන්ධයෙන් අභ්‍යවකාශ ඒජන්සියට සහ ශිෂ්‍යයින්ට පළමුවෙන් ම සුබ පැතූ පුද්ගලයින් අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විය.
මේ සම්බන්ධයෙන් තවත් බොහෝ පිරිසක් සුබ පැතුම් එක් කරමින් සිටිති.
මෙම චන්ද්‍රිකාව ගුවන් විදුලි විකාශන කටයුතු භාවිත කිරීමට නියමිත අතර, එය වාණිජමය නොවන ගුවන් විදුලි අත්හදා බැලීම් සඳහා ද භාවිත කරනු ඇත.
මීට පෙර 2017 ජූනි මාසයේදී ඇමෙරිකාවේ නාසා ආයතනය හරහා සිසුන් පිරිසක් විසින් කලාම්සැට් චන්ද්‍රිකාවට වඩා සැහැල්ලු එනම් ග්‍රෑම් 64 ක බරින් යුත් චන්ද්‍රිකාවක් උප-කක්ෂයට (sub-orbit) මුදා හරින ලදී. එහෙත්, උප-කක්ෂගත චන්ද්‍රිකා අභ්‍යවකාශයට ඇතුළු වුව ද, ඒවා කක්ෂයට ඇතුළු නොවේ.
කලාම්සැට් වී2 චන්ද්‍රිකාව නිර්මාණය කරන ලද්දේ, චෙන්නායිහි පිහිටි ස්පේස් කිඩ්ස් ඉන්ඩියා නමැති අභ්‍යවකාශ අධ්‍යයන ආයතනයක සිසුන් පිරිසක් විසිනි.
ස්පේස් කිඩ්ස් ඉන්ඩියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රීමතී කේසන් එන් ඩී ටී වී පුවත් සේවය සමග පැවසුවේ, චන්ද්‍රිකාව නිපදවීම සඳහා ගත වූයේ දින 6 ක් පමණක් බවය. ඒ සඳහා වැය වූ මුදල ඉන්දීය රුපියල් මිලියන 1.2 කි.
මේ වන විට ඉන්දීය සිසුන් විසින් චන්ද්‍රිකා 9 ක් අභ්‍යවකාශගත කර තිබේ.