ග්‍රහ වස්තුවක් මත සිට පෘථිවියට ඡායාරුප එවන 'හයියාබුසා-2'

කියවීමේ කාලය: මිනිත්තු 2

ග්‍රහකයක් මත රොබෝ රෝවර් යන්ත්‍ර දෙකක් සාර්ථකව ගොඩ බාමින් ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) ඓතිහාසික පියවරක් තැබීය.

සිකුරාදා (21) හයියාබුසා අභ්‍යවකාශ යානය සමග පිටත් කළ කුඩා "රෝවර්" දෙක, ගූගු (Ryugu) යනුවෙන් හැඳින්වෙන කි.මි. 1 ක් පළල ග්‍රහකය මතුපිට ඔබ-මොබ ගමන් කරනු ඇත.

ග්‍රහ වස්තුවේ අඩු ගුරුත්ව බලය හේතුවෙන් මෙම උපකරණ දෙකට ඒ හරහා පැන යන අතරේදී එහි උෂ්ණත්වය සටහන්කර ගැනීමේ සහ මතුපිට ඡායාරුප ගැනීමේ හැකියාව පවතී.

"රෝවර් උපකරණ දෙකම හොඳ තත්ත්වයේ" පවතින බව ජපාන අභ්‍යවකාශ ඒජන්සිය සෙනසුරාදා තහවුරු කළේය.

ඒජන්සිය රෝවර් මගින් හයියාබුසා-2 ඔස්සේ පෘථිවියට එවන ලද ඡායාරූප ට්විටර් මාධ්‍ය ඔස්සේ පළ කළේය.

හයියාබුසා-2 වසර තුනහමාරක චාරිකාවකින් පසු මෙම වසරේ ජුනි මාසයේදී ගූගු ග්‍රහ වස්තුව වෙත ළඟා විය.

මෙය වැදගත් වන්නේ ඇයි?

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මිට පෙර අයිස් වල්ගාතරුවක් මත ගොඩ බෑමට සමත් වුවද, රොබෝ රෝවර් උපකරණයක් ග්‍රහ වස්තුවක් මතුපිටට යොමු කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.

වසර බිලියන 4.6 ට පෙර සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමෙන් පසු ඉතිරි වූ කොටස්වලින් මෙම ග්‍රහ වස්තු සැකසී ඇත.

ගූගු එහි මූලික අවස්ථාවේ පසුවන ග්‍රහ වස්තුවකි. ඒ අනුව එය පිළිබඳ අධ්‍යයනය පෘථිවියේ ඇතිවීම සහ පරිනාමය සම්බන්ධයෙන් යම් අදහසක් ගැනීමට හැකිවනු ඇත.

රෝවර් ග්‍රහකයට ළඟාවූයේ කෙසේද?

ග්‍රිනිච් වේලාවෙන් බ්‍රහස්පතින්දා පෙරවරුවේ හයියාබුසා-2 යානය රෝවර් යන්ත්‍ර යොමු කිරීමට සුදානමින් ගූගු මතුපිටට සමීප වීම ආරම්භ කළේය.

"මව් යානයේ" පාදමේ ස්ථානගත කළ, මිනර්වා II-1 (Minerva II-1) යනුවෙන් හැඳින්වූ මුළු බර කිලෝග්‍රෑම් 3.3 ක් වූ සිලින්ඩරාකාර බහාලුමක කුඩා රෝවර් දෙක තැන්පත් කර තිබිණි.

සිකුරාදා, ග්‍රහ වස්තුවට මීටර් 60 ක් පමණ දුරකදී රොබෝ උපකරණ දෙක ඒ වෙත මුදාහරින ලදී.

බහාලුම මුදාහැරීමත් සමග රෝවර් දෙක ඉන් ඉවත්ව ග්‍රහ වස්තුව මතට වෙන වෙනම පතිතවූ බව අභ්‍යවකාශ ඒජන්සියේ නිලධාරීන් පැහැදිලි කළේය.

ඔවුන්ගේ කාර්යය කුමක්වනු ඇත්ද?

කිලෝග්‍රෑම් 1 ක් බරැති රෝවර් යන්ත්‍රවල පෘථිවියට ඡායාරූප එවීමට පුළුල් කාච කැමරා ද්වයක් ඇත. ඊට අමතරව ග්‍රහ වස්තුවේ මතුපිට උෂ්ණත්වය මැනීමට අවශ්‍ය සංවේදක ද එහි සවිකර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ, ඉදිරි කාලයේදී ගූගු මත ආවාටයක් නිර්මාණය කිරීම සඳහා පිපිරවීමක් කිරීමට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය සැලසුම් කරයි.

ඉන් අනතුරුව ආවාටය තුළ ඇති පිටතට නිරාවරණය නොවූ නැවුම් ගල් කැබලි එකතු කිරීමට හයියාබුසා-2 ඒ ආසන්නයට යැවීමට අපේක්ෂා කෙරේ.

එම ගල් කැබලි සාම්පල විද්‍යාගාර පරීක්ෂණ සඳහා පෘථිවියට යැවෙනු ඇත.

අභ්‍යවකාශ යානය 2019 දෙසැම්බර් මස ගූගු වෙතින් නික්මීමට නියමිතය. එය ග්‍රහ වස්තුවේ සාම්පල සමග 2020 දී පෘථිවියට ළඟාවනු ඇත.

සබැඳි පුවත්: