ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්තානයේ තාලිබාන් නායකයා ඉලක්ක කර ඇෆ්ගනිස්තානයේදී ඇමෙරිකානු ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේදී ඇමෙරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පාකිස්තාන තාලිබාන් සංවිධානයේ ප්‍රධානී මුල්ලා ෆසුල්ලා (Mullah Fazlullah) මියගිය බව තහවුරු නොකළ වාර්තාවල සඳහන් වේ.
2012 වසරේදී මලාලා යූසෆ්සායි දැරියට පාකිස්තානයේදී වෙඩිතබනු ලැබුවේ ඔහු නායකත්වය දුන් කණ්ඩායම විසිනි.
එසේම 2014 දී පාකිස්තානයේ පෙෂාවෝ නගරයේ සිදුවූ සමූලඝාතනයට ද ඔහු වගකිව යුතු බව විශ්වාස කෙරේ. එහිදී පාසල් දරුවන් 130 කට අධික පිරිසක් මරුමුවට පත්විය.
2013 වසරේදී පාකිස්තාන තාලිබාන් සංවිධානයේ ප්‍රධානියා වූ ඔහු වසර ගණනාවක් පුරා ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක විය.
ඇමෙරිකානු ප්‍රහාරය, ඇෆ්ගනිස්තාන හමුදා සමග කළ ඒකාබද්ධ ප්‍රහාරයක් විය.
තාලිබාන් සංවිධානය පිළිබඳ ග්‍රන්ථ කිහිපයකම කතුවරයා වන මාධ්‍යවේදී අහමඩ් රෂීඩ් බීබීසී ය සමග අදහස් දක්වමින් කියා සිටියේ, "මම හිතන්නේ මේක පාකිස්තාන හමුදාවට, ඇමෙරිකානුවන්ට සහ ඇෆ්ඝනිස්තානයටත් ප්‍රබල ජයග්‍රහණයක්" බවය.
"හැම දෙනාට ඕන වුනේ ඔහු මරා දමන්න. ඔහුගේ හිස වෙනුවෙන් ඩොලර් ලක්ෂ පනහක තෑග්ගක් දෙන බවට ඇමෙරිකාව නිවේදනය කරල තිබුණ," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
පාකිස්තාන දේශසීමාවේ පිහිටි ඊශානදිග ඇෆ්ගනිස්තාන පළාතක් වූ කුනාර්හි සිටි තාලිබාන් ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ල කළ බව පමණක් ඇමෙරිකානු හමුදා ප්‍රකාශ කළේය.
එහෙත් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් බීබීසී යට කියා සිටියේ තමන් මුල්ලහ් ෆසුල්ලා ඉල්කක කර ප්‍රහාරයක් එල්ලකර ඔහු මරා දැමූ බවය.
ඒ පිළිබඳ තාලිබාන් සංවිධානය තවමත් කිසිවක් සඳහන් කර නැත.
මේ මස මුලදී ඇෆ්ගනිස්ථාන රජය තලෙයිබාන් සංවිධානය හා තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළේය.
සබැඳි පුවත්: