ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවීන තාක්ෂණයෙන් තොරව සතුට ලබන හැටි!
නවීන යන්ත්‍රෝපකරණ, කෘමිනාශක වර්ග වෙනුවට තම මුතුන් මිත්තන් භාවිතා කළ පැරණි ක්‍රම යොදා ගනිමින් ගොවිතැන් කරන ප්‍රංශයේ ජෝන්-බර්නාඩ් හොන්.
ප්‍රංශයේ බටහිර මුහුදු වෙරළ තීරය ආසන්නයේ ජීවත් වන ජෝන්-බර්නාඩ් හොන් සහ ඔහුගේ බිරිද ලෝරන්ස්ගේ ගොවිපළෙහි දින හතක් නවාතැන් ගත් රොයිටර්ස් ඡායාරූප ශිල්පී ස්ටෙෆන් මාහ්ට ඔවුන්ගේ සුවිශේෂී ජීවන රටාව අත් දැකීමට අවස්ථාවක් ලැබුණි.
හැත්තෑ වියැති ජෝන්-බර්නාඩ් තමා හඳුන්වනු ලබන්නේ "ප්‍රීතිමත් පිටස්තරයෙකු" ලෙසය. එළදෙනුන් අට දෙනෙකුගේ කිරි තම දෑත්වලින් දොවා, වගාවෙන් ලබාගත් ඇට වර්ගවලින් පිටි අඹරා ආහාර පිළිවෙල කරගත් පසු ඔවුහු ගොම පොහොර එකතු කර වගාවට දමා තම දවස ආරම්භ කරති.
ගොවිපළෙහි නිෂ්පාදනය කරන ඌරු මස්, හරක් මස් සහ බටර් සුපිරි වෙළෙඳසැල්වලට විකුණනවා වෙනුවට තමන් හමුවට පැමිණෙන අමුත්තන්ට පමණක් විකිණීම ඔවුන්ගේ සම්ප්‍රදායයි.
කාබනික පොහොර පමණක් යොදා ගෙන කරන වගාවෙන් ලැබෙන වස විස නැති ආහාර නිෂ්පාදන විකුණන වෙළෙඳපොළේ ඉතා ජනප්‍රිය වුවත් , ජෝන්-බර්නාඩ් කිසි විටෙක ඔහුගේ නිෂ්පාදන මහා පරිමාණයෙන් විකුණන්නේ නැත.
දෙවන ලෝක යුද සමයෙන් පසු ඇතිවූ තාක්ෂණයේ දියුණුවත් සමග ගොවිතැනට සම්බන්ධ සියලු යන්ත්‍රෝපකරණ අලුත් වෙමින් පවතියි. නමුත් මේ සියල්ල අතර ජෝන්-බර්නාඩ් තවමත් ගොවිතැනෙහි යෙදෙන්නේ පාරම්පරික ක්‍රම භාවිතා කරමිනි.
සෑම තත්පරයකම වෙනස් වෙමින් පවතින ලෝකයේ නොවෙනස්ව සිටින ඔවුන් තවමත් නගුලෙන් කුඹුරු සීසාන අතර ඔවුන් සතුව රූපවාහිනී යන්ත්‍රයක්, මෝටර් රථයක්, අන්තර්ජාල පහසුකම් හෝ උණුසුම් ජල පද්ධතියක් නැත.
"මම හැම වෙලාවෙම මගේ ජීවිතය කළමනාකරණය කර ගත්තා, මම කවදාවත් පොහොසත් කෙනෙකු වෙලා නැහැ, හැබැයි මම ඒක සැලකිය යුතුද?" ජෝන්-බර්නාඩ් ඡායාරූප ශිල්පී ස්ටෙෆන් මාහ්ට පැවසුවේය.
"දැන් ඉන්න ගොවියන්ට මට වඩා බොහෝ ඉඩම් සහ සතුන් ප්‍රමාණයක් ඉන්නවා, හැබැයි ඒ කව්රුවත් සන්තෝෂයෙන් නෙමෙයි ඉන්නේ. ඒ අය ගොඩක් බලපෑම් සහ සීමාවන්ට යටත් වෙලා ඉන්නේ" ඔහු පැවසුවේය.
ඔහු නවීන ගොවියන් හෝ ගොවිතැන් ක්‍රමවලට විරුද්ධ නැත.
"මිනිස්සු දේවල් විවේචනය කරන එක හොදයි, හැබැයි යමක් වෙන්න හේතුව දැනගැනීම වැදගත්. වගාවට රසායන ද්‍රව්‍ය යොදා ගැනීමෙන් ගොවියන්ට විමුක්තිය උදා වුණා . ඔබට හිතා ගන්න පුළුවන්ද? ග්ලයිෆොසේට් ටිකක් දැම්මාට පස්සේ වල් පැළ සියල්ල විනාශ වෙනවා. නැත්තම් එය ඔබට කරන්න වෙන්නේ උදැල්ල පාවිච්චි කරලා." ඔහු තවදුරටත් පැවසුවේය.
වයසට යෑමත් සමග ඇති වන ශාරීරික දුබලතා හේතුවෙන් යම් කාර්යයන් කිරීමට නවීන උපකරණවල සහය ලබා ගැනීමට ජෝන්-බර්නාඩ්ට සිදු විය. අධික බර පිදුරු මිටි එසවීමට ට්‍රැක්ටර් රථ දෙකක් ඔහු විසින් මිලදී ගන්නා ලදී.
තම ගොවිපළ විකිණීමට අකමැති ජෝන්-බර්නාඩ් ඒ වෙනුවට පාරම්පරික උරුමය සහිත අනුප්‍රාප්තිකයකුට එය තෑගි කිරීමට බලාපොරොත්තු වෙයි. ගොවිපොළෙහි අනාගත හිමිකරු තමන් මෙන් සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම අනුගමනය කරනු නොමැති බව ඔහු පවසන්නේය.
"ඉස්සර මම ජීවත් වුණ කාලයේ හැම දේම ඉතා පහසුවෙන් කරන්න පුළුවන්, ඔයාට ඉඩමක් තියෙනවනම් වගා කරන්න පටන් ගැනීමේ හැකියාවක් තිබුණා"
ඡායාරූප: ස්ටෙෆන් මාහ්
මේ තොරතුරුද දැනගන්න: