ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊජිප්තුව: ඉපැරණි ළමා ඇටසැකිලි සොයාගනී
ඊජිප්තුවේ අස්වාන් නගරය ආසන්නයෙන් මෑතක සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් වසර 3000 වැඩි කාලයකට ඉහත දී මිහිදන් කළ ළමුන් සිව් දෙනෙකුට අයත් ඇටසැකිලි සොයා ගත් බව බලධාරීහු පවසති.
ස්වීඩන සහ ඊජිප්තු ඒකාබද්ධ කණ්ඩායමකට එලෙස හමු වූ එක් ඇටසැකිල්ලක ඖෂධ ගල්වා සංරක්ෂණය කිරීමට යොදා ගත් හණ රෙදි (ලිනන්) තිබු බව පුරාවස්තු අමාත්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය අයිමන් ඇශ්මවි ප්‍රකාශ කළේය.
මිහිදන් කළ මිනිස් ඇටසැකිලි ඊජිප්තුවේ 18 වෙනි රාජවංශය දක්වා දිව යයි. (ක්‍රි.පූ 1549/1550 - 1292)
මේ අතර ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සොහොන් බිමක කොටසක් සොයා ගනු ලැබ ඇති අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමක් විසින් කාන්තා ප්‍රතිමාවක් සොයා ගනු ලැබ ඇත.
පුරාවිද්‍යාඥයන් විසින් භූමදානය කළ මිනිස් මළ සිරුරුවලට අයත් ඇටසැකිලි සොයාගනු ලැබුවේ ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙනි.
අවුරුදු දෙකත් තුනත් අතර වයසේ පසු වූ කුඩා දරුවෙකු වෙනුවෙන් නිර්මාණය කර ඇති එක් සොහොන් ගැබක් ගලක් තුළ නෙළා ඇත.
මළ සිරුර ඔතන ලද රෙදිවලට අමතරව, මෘත දේහය බහාලූ ලී පෙට්ටියේ අවශේෂ අතර තිබී කාබනික කොටස් හමුවී තිබේ.
අවුරුදු හයත් නවයත් අතර වයසේ පසු වූ දරුවෙකු සහ අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකු දෙවන හා තෙවන වලවල් තුළ මිහිදන් කර ඇත. ඔවුන් මිහිදන් කිරීම සඳහා ද ලී පෙට්ටි යොදා ගනු ලැබ තිබේ. ආරක්ෂාවට බඳින සුරයක් සහ මැටියෙන් කරන ලද වළන් කට්ටලය බැගින් එම වලවල් තුළ තිබී සොයා ගනු ලැබ ඇත.
සිව් වෙනි වල අයත් වන්නේ ද අවුරුදු පහත් අටත් අතර වයසේ පසු වූ දරුවෙකුටය.
නව සොයා ගැනීම් මගින් තට්මොසිඩ් යුගය හෙවත් 18 වෙනි රාජවංශ යුගයට අයත් මිහිදන් කිරීමේ චාරිත්‍ර මෙන්ම සමාජීය, ආර්ථික සහ ආගමික වත්පිළිවෙත් පිළිබඳ නව මානයක් පෙන්නුම් කරනු ඇති බව ස්වීඩනපුරාවිද්‍යා මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය මරියා නිල්සන් පවසන්නීය.
ගෙබෙල් අල්-සිල්සිලා පුරාවිද්‍යා භූමි ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගනු ලැබ ඇති සොහොන් ගැබ් සංඛ්‍යාව 69 කි.
මේ අතර වසර 4000 වඩා පැරණි ඊජිප්තුවේ පළමු මධ්‍යතන යුගය දක්වා දිවෙන සොහොන් භූමියක කොටසක් සොයා ගැනීමට කොම් ඔම්බො (Kom Ombo) නගරයේ කඳු ගැටයක ගවේශණයේ යෙදුනු ඊජිප්තු සහ ඔස්ට්‍රියානු ඒකාබද්ධ කණ්ඩායමක් සමත් වී තිබේ.
මැටි ගඩොලින් සකස් කරන ලද සොහොන් ගණනාවක තිබී මැටියෙන් කරන ලද වළන් සහ අවමංගල්‍ය කටයුතු සඳහා යොදා ගැනුණු වෙනත් භාණ්ඩ හමුවූ බව එම පුරාවිද්‍යා මෙහෙයුමේ ප්‍රධානී ආචාර්ය අරින් ෆොස්ටර් පැවසුවාය.
සොහොන් භූමියට පහතින් තිබී පැරණි රාජධානි යුගය දක්වා දිවෙන (ක්‍රි.පූ 2613 -2181) නගරයක කොටස් හමු වූ බව ඇය සඳහන් කළාය.
එම කලාපයෙන් හමු වූ තෙවන සොයා ගැනීම වන්නේ ග්‍රීක - රෝම යුගය දක්වා දිවෙන අසම්පූර්ණ ප්‍රතිමාවකි. අස්වාන් ප්‍රදේශයේ කැණීම් කළ ඊජිප්තු සහ ස්විට්සර්ලන්ත ඒකාබද්ධ කණ්ඩායමක් විසින් එම ප්‍රතිමාව සොයා ගනු ලැබ ඇත.
හුණු ගලෙන් නිර්මාණය කර ඇති සෙන්ටි මීටර 38 පමණ උසැති හිස රහිත ප්‍රතිමාවේ පාද සහ දකුණත දක්නට නොමැත.
ප්‍රතිමාවේ දක්නට ඇති වස්ත්‍රය සහ ග්‍රීක දෙවගනක් වන ආතමිස්ගේ වස්ත්‍ර අතර සමානකම් දක්නට ඇති බව ප්‍රදේශයේ පුරාවස්තු පිළිබඳ ප්‍රධානි අබ්දෙල් මෝනිම් සයීඩ් පැවසීය.
මේගැනත් දැනගන්න: