අහස සහ හිරු මඩල රතු කළ 'ඕෆීලියා'

එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව පවසන පරිදි අහස "අසාමාන්‍ය" ලෙස රතු ගැන්වී ඇති අතර හිරු ද රතු පැහැයෙන් දිස් වී තිබේ.

එංගලන්තයේ නිරිත දිග, මිඩ්ලන්ඩ් සහ වයඹ දිග ප්‍රදේශවලට ඉහත කී සංසිද්ධිය දර්ශනය වී ඇත.

ඒ පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයේ කාලගුණ වාර්තා නිවේදක සයිමන් කිං කියා සිටියේ, 'ඕෆීලියා' හරිකේන් කුණාටුව සමග ඇදී ආ උෂ්ණ වායු සහ සහරා කාන්තාරයේ දූවිලි අංශු හේතුවෙන් එම සංසිද්ධිය සිදුව ඇති බවය.

පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනි මගින් හටගත් අළු මිශ්‍ර දුවිලි ද ඊට බලපා ඇතැයි ඔහු කියා සිටියේය.

මේ අතර බ්‍රිතාන්‍යය දූපත්වලට බලපෑ 'ඕෆීලියා' හරිකේන් කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මේ වන විට අයර්ලන්ත ජනරජයේ නිවාස 120,000 සහ වේල්ස්හි නිවාස 4000 විදුලි බලය නොමැත.

පෘතුගාලයේ මධ්‍යම සහ උතුරු කලාපයේ හටගත් ලැව්ගිනිවලට හසුව අවම වශයෙන් පුද්ගලයන් තිස් එක් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති.

'ඕෆීලියා' හරිකේන් කුණාටුව යුරෝපයේ බටහිර වෙරළ තීරය වෙත ළඟා වීමත් සමග ඇති වූ තද සුළං හේතුවෙන් ගින්න පැතිරීම වර්ධනය වී ඇත.

ස්පාඤ්ඤයේ ලැව්ගින්නට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව තිබේ.