ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිමාල අඩවියේ ‘අයිස් ස්ථූප’
- Author, Shivaani Kohok
- Role, Innovators, BBC World Service
ලෝකයේ ශීතලම මිටියාවතක ශීත සෘතුවක මධ්‍යම රාත්‍රිය කි. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 (-22F) දක්වා පහළ බසිනු ඇත.
හිමාල අඩවියේ ඉන්දීය කලාපයේ, ලදාඛ් මිටියාවතට දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රැස්වුණේ එහි වෙසෙන ගැමියන් මුහුණ දෙන ජල අර්බුදයට විසඳුමක් ලබා දීමේ අටියෙනි.
ඔවුහු කෘත්‍රිම ග්ලැසියර ඉදි කරති. වසරේ මුල් භාගය තුළ මේ ග්ලැසියර දියවී ගැමියන්ගේ වගාවන්ට අවැසි ජලය ලැබෙනු ඇති බව මොවුන්ගේ අපේක්ෂාවයි.
මේ ග්ලැසියර නිර්මාණය පිටුපස සිටින ඉංජිනේරුවා සෝනම් වාන්ග්චුක් ය. තමන් උපත ලද මිටියාවතේ වැසියන් මුහුණ දෙන මේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමේ අටියෙන් ඔහු වසර කිහිපයක් පුරා වෙහෙසුනේය.
"අපි පුරුදුවෙලා ඉන්නේ දිල්ලි නුවර හෝ නිව්යෝර්ක් නුවරින් ගෙනෙන විසඳුම් භාර ගන්න. නමුත් මම විශ්වාස කරනවා මේ කඳුකරයේ ප්‍රශ්නවලට කන්දේ ඉන්න අපිටම විසඳුම් සොයා ගත හැකියි කියල." යනුවෙන් ඔහු පැවසීය.
රට තුළම හුදෙකලා වූ පිරිසක්
ලදාඛ් මිටියාවතේ ගැමියෝ අතිශය දුෂ්කර ජීවන තත්වයන්ට මුහුණ දෙති. අවට ගම්මානවලට දිවෙන මාර්ග ශීත කාලයේ දී හිමෙන් වැසී යාමෙන් ඔවුහු රට තුළම හුදෙකලා වූ පිරිසක් බවට පත්වෙති.
කාලගුණික විපර්යාසයන් හි බලපෑම හේතුවෙන් මෙම තත්වය තව තවත් නරක අතට හැරෙන බව සෝනම් පවසයි. ඔහු කියා සිටින්නේ මිහිතලය රත්වීම හේතුවෙන් හින්දු කුශ් හිමාල අඩවියේ සියුම් ජල සමතුලිතතාව බිඳී යන බවය.
"ග්ලැසියර දියවී යන බව අපිට දකින්න පුළුවන්. වසන්තයේදී ජලය හිඟයි. නමුත් ගිම්හානයේ දී භයානක ජල ගැලීම් සිදුවෙනවා. මේ මිටියාවතේ ජලය ගලායන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා." ඔහු පැහැදිලි කළේය.
- මුහුදු මට්ටමින් අඩි 8860 සිට 13,123 දක්වා උසින් පිහිටි පිටිසර ගම්මාන.
- ජනගහනය ආසන්න වශයෙන් 300,000ක්.
- උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 (-22F) දක්වා පහළට යාහැකි ශීත සෘතුවක්.
- මිලිමීටර 100ක් වැනි කුඩා වාර්ෂික වර්ෂාපතන අගයක්.
යුරේකා... යුරේකා....!
සෝනම් ධෛර්යමත් වුණේ මීට පෙර මේ මිටියාවතේ සේවය කළ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ගේ උත්සාහයක් දැකීමෙනි. ඔවුහු මුහුදු මට්ටමින් මීටර 4000ක් පමණ ඉහළ ස්ථානයක පැතලි ග්ලැසියරයක් තැනූහ. නමුත් එතරම් ඉහළට, කන්ද තරණය කරන්නට ගැමියෝ මැලිවූහ.
මිටියාවත හරහා වැටුණු පාලමක් මත ගමන්කරමින් සිටිය දී සෝනම්ට අපූරු අදහසක් පහළ විය.
"මම දැක්ක පාලම යට අයිස් මිදිලා තියෙනවා. එතන මුහුදු මට්ටමින් මීටර 3000ක් විතර උස ස්ථානයක්. එතන තමයි මේ පළාතේ පහළම සහ උණුසුම් ම ස්ථානය. ඒ මැයි මාසයක. මම කල්පනා කළා ඉර එළියට අයිස් දියවීම ගැන. ඒත් අපිට පුළුවන්නම් කෙලින්ම ඉර එළිය වැටෙන එක වළක්වා ගන්න අයිස් ටික ආරක්ෂා වෙනවා." සෝනම් අතීතය සිහිපත් කළේය.
2013 දී සිය සිසුන් පිරිසක් සමඟ එක්වී ඔහු චෛත්‍යයක හැඩය ගත් අයිස් කුට්ටියක මූලාකෘතිය නිර්මාණය කළේය.
සරල තාක්ෂණය
සථූපයක හැඩයට අයිස් කුට්ටියක් නිර්මාණය කිරීම පිටුපස ඇත්තේ සරල තාක්ෂණයකි.
කඳු මුදුනේ සිට සිසිල් දිය දහරාව මිටියාවතේ පහළ ස්ථානයකට ගෙන එන්නේ පයිප්පයක් යොදා ගනිමින් ය. පයිප්පයේ පහළ කෙළවර සිරස් අතට සිටින සේ නමා ඇත.
උස සහ ගුරුත්වාකර්ෂණයේ ඇති වෙනස හේතුකොට ගෙන පයිප්පය තුළ පීඩනයක් හටගනී. දිය දහරාව පහළට විත් පයිප්පයේ සිරස් අතට නැමුණු කෙළවරින් නිදහස් වන්නේ දැඩි පීඩනයක් සහිතව බැවින් එම ජල දහරාව මද දුරක් ඉහළට විදිනු ඇත.
උෂ්ණත්වය සෘණ අගයක් සහිත වාතාශ්‍රයේදී ජලය මිදී අයිස් බවට පත්වන බැවින් ඉහළට විදින ජලය යළි බිමට පතිත වන අතරතුර පිරමිඩාකාර ග්ලැසියරයක් නිර්මාණය වෙයි.
"ශීත කාලයේදී ප්‍රයෝජනයක් නොගෙන ගලායන ජලය තමයි අපි මේකට යොදා ගන්නේ. මේ ග්ලැසියරයේ ජ්‍යාමිතික හැඩය නිසා වසන්ත කාලයේ අවසාන භාගයවන තුරු ඒක දියවෙන්නේ නැහැ." සෝනම් පැහැදිලි කළේය.
චෛත්‍යයක හැඩය ගත් මෙම ග්ලැසියරය වසන්තයේ අග භාගයේදී දියවන්නට පටන් ගන්නා අතර එම ජලය ගැමියන්ගේ වගාවන්ට යොදා ගත හැකිය.
බෞද්ධ ආශ්‍රමය
මූලික අදියර සාර්ථක වීමෙන් අනතුරුව 2014 දී අසල්වාසී 'ෆයන්ග්' බෞද්ධ ආශ්‍රමයෙන් ද ඉල්ලීමක් ලැබුණි. එම ආශ්‍රමය අවට 'අයිස් ස්ථූප' 20ක් තැනීම සඳහා පිහිටවූ අරමුදලට ඩොලර් 125,200ක් එකතු විය.
කඳු මුදුනේ සිට ජල ධාරාවක් පහළට ගෙන ඒම සඳහා අවශ්‍ය වූ පයිප්ප මිලදී ගැනීමට එම මුදල් යෙදවීය. එම පයිප්ප තොගයේ මුළු දිග කිලෝමීටර 2.3කි. එමගින් මෙම මිටියාවතට තවත් 'අයිස් ස්ථූප' 50ක් පමණ තැනිය හැකිබව සෝනම් විශ්වාස කරයි.
හිමාලයෙන් ඔබ්බට
හිමාල අඩවියේ කෘත්‍රිම ග්ලැසියර තැනූ මේ ඉංජිනේරුවා දැන් ස්විට්සර්ලන්තයේ ද එවැනිම ග්ලැසියර තනමින් සිටී.
ස්විට්සර්ලන්තයේ ඉහළ මායිමේ ඇති ස්වභාවික ග්ලැසියර ඉක්මනින් දියවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති අවධියක හිමාලයේ තැනූ ආකෘතිය අත්හදා බැලීමට ස්විට්සර්ලන්තයට අවශ්‍ය වී තිබේ.
එපමණක් නොව ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ග්ලැසියර දියවී හටගත් වැව්වල ජල මට්ටම ඉහළ යාම වළක්වාගැනීමට ද මේ ඉන්ජිනේරුවගේ සහාය පතා තිබේ.
"අපේ විශ්වවිද්‍යාල තුළ සිසුන් හොඳින් පුහුණු කර අනාගතයේ දී හොඳ ග්ලැසියර ව්‍යවසායක පරම්පරාවක් බිහි කරන්නට අපට අවශ්‍යයි." ඉංජිනේරු සෝනම් වාන්ග්චුක් අනාගතය දෙස බලන්නේ ශුභවාදී ආකල්පයකිනි.
#BBCInnovators
bbcinnovators
- මෙය බීබීසී ලෝක සේවයේ නිෂ්පාදනයකි. මූල්‍ය දායකත්වය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙනි.
- Learn more about BBC Innovators.
සබැඳි යොමු: