ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සඳේ දූලි තැවරුණු බෑගය ඩොලර් 18 ලක්ෂයකට අලෙවි වේ
සඳෙන් ලබා ගත් මුල්ම පාෂාණ සාම්පල බහාලීම සඳහා ඇමරිකානු අජටාකාශගාමී නීල් ආම්ස්ට්‍රෝන් විසින් භාවිත කරන ලද බෑගය නිව්යෝක්හි පැවති වෙන්දේසියක දී ඩොලර් දහඅට ලක්ෂයකට අලෙවි විය.
1969 වසරේ ඇපලෝ 11 මෙහෙයුම දී භාවිත කරන ලද බෑගය සඳහා ඉහළම ලන්සුව ඉදිරිපත් කළ පුද්ගලයා සිය නම හෙළි කර නොමැත.
සඳේ දුහුවිලි සලකුණු සහ කුඩා පාෂාණ කැබලි සුදු පැහැති බෑගය තුළ තවමත් දැකගත හැක.
ඇපලෝ 11 මෙහෙයුමට අයත් බාහිර පුද්ගලයෙකු සතුව තිබූ කෞතුක වටිනාකමක් සහිත එකම වස්තුව මෙම බෑගය ලෙස සැලකේ.
එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණේ එහි හිමිකාරිත්වය සඳහා අධිකරණය හමුවේ පැවති අරගලයකට පසුවය.
නඩු මගට
ඇපලෝ 11 යානය පෘතුවියට යළි පැමිණි පසු එහි තිබූ සියලුම උපකරණ පාහේ 'Smithsonian' කෞතුකාගාරය වෙත යවනු ලැබිණි.
අදාළ උපකරණ ලැයිස්තුවේ පැවති දෝෂයක් හේතුවෙන් පාෂණ බහාලීමට භාවිත කළ බෑගය ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වූ පෙට්ටියක් තුළ හැර දමා ගොස් තිබිණි.
2015 පැවති ආණ්ඩුවේ වෙන්දේසියක දී ඉලිනොයිස්හි නීතිඥවරයෙකු විසින් ඩොලර් 995 ට බෑගය මිලදී ගනු ලැබ තිබුණේ එය හඳුනා ගැනීමේ දී සිදු වූ වරදක් නිසාවෙනි.
පසුව නාසා ආයතනය විසින් බෑගය යළි ලබා ගැනීමට උත්සාහ කළ නමුත් එය නීතිඥවරයාට අයත් බව අධිකරණය තීන්දු කළේය.
නීතිඥවරයා විසින් බෑගය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් පසුව ය.