ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙනිසුවෙලාවේ දැවැන්ත වැඩ වර්ජනයක්
නව මහජන මන්ත්‍රී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම පිණිස කැඳවා තිබෙන මැතිවරණය අවලංගු කරන මෙන් ජනාධිපති නිකොලස් මදුරෝට බලකිරීම පිණිස විරුද්ධ පක්ෂ විසින් කැඳවනු ලැබ තිබෙන වැඩ වර්ජනයකට දස ලක්ෂ සංඛ්‍යාත වෙනිසුවෙලා වැසියෝ එක් වී සිටිති.
උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම්වලින් මේ වනවිටත් තිදෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.
නගර කිහිපයකම පොලිසිය උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර, එක් පුද්ගලයෙකු කරාකස් අගනුවරදී මරුමුවට පත් වූ අතර, අනෙක් දෙදෙනා මිය ගියේ එයට උතුරෙන් පිහිටි වලෙන්තියා නගරයේදීය.
රට පුරාම පැවති උද්ඝෝෂණ අතරතුර 360 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මානව හිමිකම් සංවිධාන පවසති.
සබැඳි යොමු:
රටේ සීමිත වැඩ වර්ජනයක් පැවැත්වෙන බව එයට ප්‍රතිචාර වශයෙන් පවසන ජනාධිපති මදුරෝ, උද්ඝෝෂණයේ නායකයන් අත්අඩංගුවට ගන්නා බවට අනතුරු අඟවා තිබේ.
ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේ රට පුරා උද්ඝෝෂණය දියත් වූ අවස්තාවේ සිට මේ දක්වා 100 කට වැඩි පිරිසක් මරුමුවට පත්වී තිබේ.
අගනුවර සහ රට පුරා වෙනත් බොහෝ නගරවලට රැස් වූ උද්ඝෝෂකයෝ, නිවසේ තිබෙන ගෘහ භාණ්ඩ සහ කුණු දමා මහා මාර්ග අවහිර කළහ.
'ෆැසිස්ට්වාදී ත්‍රස්තවාදීන්'
රටවැසියන්ගෙන් 85% ක් වැඩ වර්ජනයට එක් වී සිටින බව විරුද්ධ පක්ෂ පවසති.
කෙසේ නමුත් අගනුවර ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රදේශවල සුපුරුදු පරිදි සාමාන්‍ය වැඩ කටයුතු ක්‍රියාත්මක වූ අතර, කඩ සාප්පු විවෘත කොට නගරයේ වීථි ජනතාවගෙන් පිරීතිරී තිබුණි.
ජුලි 30 වෙනි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අවලංගු කරන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ කොළොම්බියාව වෙනිසියුලාවේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.
එහෙත් ජනාධිපති මදුරෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.
රටේ ප්‍රධානම ක්ෂේත්‍ර වැඩ වර්ජනයට සහභාගි නොවීම "ජයග්‍රහණයක්" බව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
"ෆැසිස්ට්වාදී ත්‍රස්තවාදීන් සියලු දෙනාම අල්ල ගන්නා ලෙස මම නියෝග කරලා තියෙනව," ඔහු පැවසීය.
මීට දින කිහිපයකට ඉහතදී විරුද්ධ පක්ෂය විසින් සංවිධානය කරන ලද නිල නොවන ජනමත විචාරණයේ දී ලක්ෂ හැත්තෑවකට අධික ජනකායක් සිය ඡන්දය භාවිත කළ බව එය නිරීක්ෂණය කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැවසූහ.
රටේ ඡන්දදායකයන්ගෙන් අති බහුතරය සමාජවාදී ආණ්ඩුව යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනවලට එරෙහි බව ද ජනමත විචාරණයෙන් හෙළි වී තිබේ.
ඡන්දය භාවිත කළ පිරිස අතරින් 98% ක් ජනාධිපති මදුරෝ යෝජනා කරන නව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර තිබුන අතර, 2019 දී ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට ප්‍රථම යළි ජනපතිවරණයක් කැඳවිය යුතුය යන යෝජනාව ද ඡන්දදායකයන් අනුමත කර තිබේ.