ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් අර්බුදය "පවුලේ ප්‍රශ්නයක්"
කටාරය සහ අවට ගල්ෆ් රාජ්‍යයන් අතර පවතින අර්බුදය "පවුලේ ප්‍රශ්නයක්" බව වොෂිංටන් නුවර ධවල මන්දිරය පවසයි.
ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ශෝන් ස්පයිසර්, වොෂිංටන් නුවරදී මේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් ඉදිරියේදී ය.
"රටවල් හතරක් මේකට සම්බන්ධයි. අපි විශ්වාස කරන්නේ මේක පවුලේ ප්‍රශ්නයක් කියල. ඔවුන්ම ඒක විසඳා ගත යුතුයි" යනුවෙන් ඔහු පැවසීය.
ගල්ෆ් රටවල් කිහිපයක් එක්වී කටාරයට සම්බාධක පනවා ඇති අතර ඒවා ඉවත් කිරීමට නම් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් දහතුන සපුරාලිය යුතු බව එම රටවල් පවසයි. සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව එම රටවල් හතරයි.
කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම, ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බව එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසි කිහිපයකි.
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව එක්වී චෝදනා කරන්නේ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන අතර ඉන් කලාපීය සාමය අස්ථාවර වන බවය.
කටාර් බලධාරීහු එම චෝදනා ප්‍රතික්‍ෂේප කරති.
ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කටාරයට චෝදනා කළ නමුත් මැදපෙරදිග ස්ථාපනය කර ඇති විශාලතම ඇමරිකානු ගුවන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ ද කටාර් රාජ්‍යය තුළය.
කටාර් අර්බුදය "පවුලේ ප්‍රශ්නයක්" ලෙස ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක හඳුන්වන නමුත් ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණි.
මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කළ ට්‍රම්ප් ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය "ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය" සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළේය.
මේ අතරතුර බීබීසී සිංහල සේවයට ඊයේ (ජුනි 23) ප්‍රකාශයක් කරමින් අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කළේ අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසි ලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බවය.
ඩෝහා අගනුවර සිට බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා, කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් අසල්වැසි රටවල් හතරක් කරන ඉල්ලීම විග්‍රහ කළේ "ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්" වශයෙනි.
එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ.