උතුරු කොරියාවෙන් නෞකා නාශක මිසයිල

උතුරු කොරියාව නෞකා නාශක මිසයිල කිහිපයක් නැගෙනහිර මුහුදු කලාපයට එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.

මෙය මුහුදු මට්ටම ආසන්නයෙන් පියාසර කොට නෞකා හඹා ගොස් ඒ මතට පතිතවන මිසයිල වර්ගයකි.

උතුරු කොරියාව අලුතින් අත්හදා බලන ලද මෙම මිසයිල කිලෝ මීටර 200ක් පමණ දුර ගමන් කර මුහුදට පතිත වී තිබේ.

ජාත්‍යන්තර නීති

මෙම වසර තුළ උතුරු කොරියාව අත්හදා බැලූ ඇතැම් මිසයිල සාර්ථක නොවූ නමුත් ඒ සෑම අත්හදා බැලීමක් ම සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ කොන්දේසි උල්ලංඝනය කරමිනි.

නමුත් නවතම අත්හදා බැලීම තුළින් උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇත්දැයි යන්න තවමත් පැහැදිලි නැත.

න්‍යෂ්ටික යුද ශීර්ෂයක්

උතුරු කොරියාවේ උත්සාහය වී ඇත්තේ ඔවුන්ගේ මිසයිලයකට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කිරීම විය හැකි බවට ජාත්‍යන්තර විශේෂඥයෝ සැක පහළ කරති.

කෙසේවෙතත්, සිය මිසයිලවල සවි කළ හැකි මට්ටමේ ප්‍රමාණයෙන් කුඩා න්‍යෂ්ටික යුද ශීර්ෂක් නිර්මාණය කිරීම සඳහා උතුරු කොරියාවට තව කලක් ගතවනු ඇති බව ද සැළකේ.

සිය අභ්‍යවකාශ වැඩසටහන සාමකාමී වුවක් බව උතුරු කොරියාව නැවත නැවතත් අවධාරණය කළද, එරට, ඇමෙරිකාවට තර්ජනයක් වියහැකි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල නිපදවීමේ යෙදී සිටින බවට සැක කෙරේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජනයට එරෙහිව එක්සත් ජනපදය තනිවම ක්‍රියා කරනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපදයේ අලුත්ම යුද අභ්‍යාස පිළිබඳව කෝපාවිෂ්ඨ ප්‍රතිචාරයක් පළ කළ උතුරු කොරියාව, න්‍යෂ්ඨික යුද්ධයකට අත වනන බවට ඇමෙරිකාවට චෝදනා කළේය.