ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශයට කෙට්ටු නිරූපිකාවෝ එපාලු
සිය සෞඛ්‍යය අනතුරේ හෙලමින් සිතාමතාම කෙට්ටුවන මෝස්‌තර නිරූපිකාවන් සේවයේ යෙදවීම තහනම් කිරීමේ නීතියක් සෙනසුරාදා (මැයි 06) සිට ප්‍රංශයේ ක්‍රියාත්මකවේ.
ඒ අනුව මෙවක් පටන් ශරීර ස්කන්ධ දර්ශකය (body mass index) පිළිබඳව විශේෂ අවධානය පළකරමින් සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාදීමට නිරූපිකාවන්ට සිදුවේ.
මොස්තර නිරූපන ක්ෂේත්‍රයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිතාමතාම කෙට්ටුවීම මගින් තරුණියන් සිය ශරීර සෞඛ්‍ය අනතුරේ හෙලීම වැළැක්වීම සහ රූපලාවන්‍යය පිළිබඳව වැරදි චිත්‍රය මතුවීම වැළැක්වීම මේ පියවරේ අරමුණ බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කිසියම් ලෙසකින් සිය ඩිජිටල් තාක්ෂණය මාර්ගයෙන් සිය ඡායාරූප වෙනස කරන්නේ නම් අයදුම්පත් ඉදිරිපත් කරන විට ඒ බව පැහැදිලිව සඳහන් කිරීමද නව නීතියට ඇතුලත්වේ.
නිරූපිකාවන්ට අවම ශරීර ස්කන්ධ දර්ශකයක් නියම කිරීමට මීට ඉහතදී ප්‍රංශ බලධාරීන් උත්සාහ දැරූ නමුත්, මෝස්‌තර නිරූපන ක්ෂේත්‍රයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් එම වගන්තිය සංශෝධනය කෙරිණ.
එහෙත් කිසියම් නිරූපිකාවකගේ බර, වයස සහ ශරීරයේ ස්වභාවය සලකා බලා ඇය ඕනෑවට වඩා කෙට්ටු දැයි තීරණය කිරීමට නව නීතිය අනුව වෛද්‍යවරුන්ට බලය පැවරේ.
නව නීතිය උල්ලංඝණය කරන සේවායෝජකයන් යුරෝ 75,000 ක් දක්වා වූ දඩයකට සහ මාස හයක් දක්වා වූ සිරදඬුවමකට යටත් කළ හැකිය.
බර අඩු සහ ඉතා කෙට්ටු නිරූපිකාවන් සම්බන්ධ මෙවැනි නීතියක් පැනවූ පළමු රට ප්‍රංශය නොවේ; ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඊශ්‍රායලයේද මේ හා සමාන නීති දැනටමත් ක්‍රියාත්මක වේ.
ප්‍රංශයේ 30,000 ත් 40,000 ත් අතර පිරිසක් ආහාර අරුචියෙන් (Anorexia) පීඩා විඳින අතර එයින් 90% ක්ම කාන්තාවෝ වෙති.