ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට අලුත් නීති

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම තවත් අසීරු කෙරෙන ආකාරයට සංක්‍රමණ නීති දැඩිකිරීම සඳහා එරට බලධාරීහු පියවර ගෙන තිබේ.

පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් මින් ඉදිරියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ "ඔස්ට්‍රේලියානු සාරධර්ම" පිළිබඳව දැනුවත්භාවය ඔප්පුකළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

මීට අමතරව, ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසර හතරක් සම්පුර්ණ කළ යුතුවෙයි.

මේ දක්වා පැවති නීතිය අනුව ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසරක් සම්පුර්ණ කළ අයෙකුට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය තිබුණි.

මෙම සංශෝධන සිදුකෙරුණේ ඔස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය දැඩි කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.

ආගමික නිදහස

සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියානු සමාජයට මනාලෙස අනුගතවීම සහතිකකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සංක්‍රමණික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ සාරධර්මවලට සහ ආගමික නිදහසට ගරු කළයුතු බවද අගමැතිවරයා අවධාරණය කරයි.

දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් ප්‍රකාශකර තිබුණි.