ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලාංකිකයන්ට රැකවරණ නොදීම ඛේදවාචකයක් - ස්නෝඩන්
සිය ජීවිතය රැකදීම පිණිස විශාල කැපකිරීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසට හොංකොං හි දේශපාලන රැකවරණ නොදීම 'විස්තර කළ නොහැකි ඛේදවාචකයක්' බව ඇමෙරිකානු රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසුව පිටුවහල්ව වෙසෙන එඩ්වඩ් ස්නෝඩන් පවසයි.
වර්තමානයේ රුසියාවේ දේශපාලන රැකවරණ ලබා සිටින ස්නෝඩන් ඒ බව පවසන්නේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ඔහු රුසියාවට පළායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ ඔහුට රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබුණි.
ස්නෝඩන් ගේ කතා පුවත පිළිබඳව ඔලිවර් ස්ටෝන් විසින් නිර්මාණය කරන ලද එළිදැක්වීමට නියමිතව තිබියදී, කැල්ලපත සුපුන් තිළිණ සහ ඩීකේ අජිත් පුෂ්පකුමාර ගේ නම් ඔවුන්ගේ නීතිවේදී රොබට් ටිබ්බෝ විසින් හෙළිකරනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.
ශ්‍රී ලංකා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පිරිසක් පසුගිය දෙසැම්බරයේ හොංකොං දේශයට පැමිණ එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව රහසිගතව කරුණු විමසා තිබෙන බව ඔවුන්ගේ නීතිවේදියා පවසයි.
ඔවුන් ඡායාරූප සහ ලිපිගොනුද සහිතව හොංකොං හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වී සිය සේවාදායකයන් පිළිබඳව කරුණු විමසා තිබෙන බවත් නීතිවේදී රොබට් ටිබ්බෝ පැවසීය.
එහෙත් "සම්පූර්ණ බොරුවක්" බව පවසමින් ශ්‍රී ලංකා පොලිසිය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
"දේශපාලන රැකවරණ පැතීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපි හොංකොං වල හෝ වෙනත් කිසිම රටක කිසිම විමර්ශනයක් පවත්වල නැහැ," පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට පැවසීය.
චීනයේ හෝ වෙනත් කිසිම රටක නීතිය පසිඳලීමේ ආයතනවලට හොංකොං හි විමර්ශන පැවැත්වීමට නීත්‍යානුකූල බලයක් නැත.
ඇමෙරිකානු NSA ජාතික ආරක්ෂක ඒජන්සියට අයත් රහසිගත ලිපිලේඛණ දහස් ගණනක් විකීලීක්ස් වෙබ් අඩවියට ලබාදීමෙන් අනතුරුව එඩ්වඩ් ස්නෝඩන් රටින් පළා ගියේය.