ටයිටැනික් නෞකාව චීනයේ විනෝද උයනකට

විශාලත්වය අතින් ද සමානවන ටයිටැනික් නෞකාවේ අනුරුවක් චීනයේ විනෝද උයනක් (Theme park) තුළ ඉදිකිරීමට නියමිතයි.

පසුගිය බ්‍රහස්පතින්දා වැඩ ආරම්භ කෙරුණ දිගින් මීටර 269 ක් වන නෞකා අනුරුව සිචුවෑන් පළාතේ ජලාශයක් තුළ ස්ථීර වශයෙන් නැංගුරම් ලා තැබෙනු ඇත.

1912 වසරේදී අනතුරට පත් ටයිටැනික් නෞකාව ඉදිකරන ලද්දේ බෙල්ෆාස්ට්හි හැරල්ඩ් සහ වොල්ෆ් සමාගම විසිනි.

එංගලන්තයේ සවුතැම්ටන් සිට ඇමරිකාවේ නිව්යෝක් බලා සිය මංගල චාරිකාව ඇරඹි ටයිටැනික් නෞකාව හිමකුළක ගැටී අනතුරට පත් විය.

අනතුරින් එහි ගමන්ගත් මගීන් 1,500 දෙනෙක් මරුමුවට පත්විය.

1997 වසරේදී සිනමාවට නැගුණු ටයිටැනික් වෘතාන්තය චීන වැසියන් අතර අතිශයින් ජනප්‍රිය වීමත් සමග ටයිටැනික් අනුරුවක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමුවිය.

ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය ක‍රන ලද කේට් වින්ස්ලට් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන් දායක වූ ටයිටැනික් චිත්‍රපටය සඳහා මුල් නෞකාවේ අනුරුවක් යොදා ගත් නමුත් විශාලත්වයෙන් එක හා සමාන අනුරුවක් නිර්මාණය කෙරෙන්නේ පළමු වරටයි.

එය මුල් ටයිටැනික් නෞකාව මෙන් නර්තන ශාලා, පිහිනුම් තටාක සහ සිනමා ශාලාවලින් සමන්විත වනු ඇත.

ව්‍යාපෘතිය සඳහා පවුම් ලක්ෂ 1150 වැය කෙරෙනු ඇතැයි අදාළ සමාගම 2014 වසරේදී නිවේදනය කළ බව AFP පුවත් සේවය වාර්තා කරයි.